වැඩි මිලට හාල් විකිණූ දහසකට නඩු


(මහින්ද නිශ්ශංක)  

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ කූට වෙළෙදුන් දහසකට වැඩි පිරිසක් පසුගිය සති දෙක තුළදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.  


වැඩිමිලට සහල් අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසා කෑ වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි ද අධිකාරිය කියා සිටී.  

 පාලන මිල රුපියල් 96,00 ක් වෙන නාඩු සහල් කිලෝව රුපියල් 110.00 ක් හෝ 115.00 වශයෙන් ද රුපියල් 93.00 ක් වෙන රතු හා සුදු කැකුළු කිලෝව රුපියල් 105.00 ත් 110.00 ත් වශයෙන් ද රුපියල් 98.00 ක් වෙන සම්බා සහල් කිලෝව රුපියල් 123.00 ත්, 133.00 ත් වශයෙන්ද වැඩි මිලට විකුණා ඇතැයි අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවැසීය.  


ඉකුත් සති දෙක තුළ සිදුකරන ලද වැටලීම්වලදී වෙළෙඳුන් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, ඊළඟ වැඩි පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් ද අත්අඩංගුවට ගෙන ඇත.  


 වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව ද අධිකාරිය සඳහන් කරයි.