වාණිජ අමාත්‍යංශයේ ගොඩනැගිල්ල පොලිසියට දෙනවාට ඇමැති විරෝධය


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඇති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ල පොලිස් විශේෂ කාර්ය බළකායට තවදුරටත් ලබාදීමට තම විරෝධය පළ කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.  

වසර 3ක කාලයකට එම ගොඩනැගිල්ල විශේෂ කාර්ය බළකායට ලබාදී ඇති අතර දැනට එම කාලය අවසන් වී ඇතැයි වාර්තා වේ. 


එය තවත් වසරක් සඳහා දීර්ඝ කර දෙන ලෙස අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.  


එහෙත් ඒ සඳහා තමන් දැඩි ලෙස විරෝධය පළ කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.