ව්‍යවස්ථා සභාවේ කාලය මේ මස අවසන්


(අජන්ත කුමාර අගලකඩ)

නායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ව්‍යවස්ථා දායක සභාවේ සාමාජිකයින් 10 දෙනාගෙන් තිදෙනකුගේ හැර ඉතිරි හත් දෙනාගේ නිල කාලය මේ මාසයේදී අවසන්වේ.

ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කතානායකවරයා නිල බලයෙන්ම කටයුතු කරන අතර අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන්ම එහි සාමාජිකයෝ වෙති.


ඉතිරි සාමාජිකයින් 7 දෙනා අතරට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයෙක්ද අගමැතිවරයා සහ පක්ෂ නායකවරයා එක්ව පත් කරනු ලබන නියෝජිතයෝ 5 දෙනෙක්ද සුළු පක්ෂ නියෝජිතයෙක්ද ඇතුළත් වෙති.


අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව පත් කරනු ලබන 5 දෙනාගෙන් දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ඉතිරි තිදෙනා සිවිල් සංවිධාන නියෝජිතයෝ වෙති.


ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඇමැති පාඨලී චම්පික රණවක මහතා කටයුතු කළ අතර අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව පත් කරනු ලැබූ පස් දෙනා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුද සිවිල් සංවිධාන නියෝජිතයින් වන ආචාර්ය ඒ. ටී. ආරියරත්න, සිබ්ලි අශීස් යන මහත්වරු සහ රාධිකා කුමාරස්වාමි මහත්මිය කටයුතු කළහ.


සුළු පක්ෂ නියෝජිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා කටයුතු කළේය.


ව්‍යවස්ථාදායක සභාවේ නිල බලයෙන් පත්වුන තිදෙනා හැරුණු විට අනෙකුත් සාමාජිකයින් 7 දෙනාගේ නිල කාලය වසර තුනකි.


ඒ අනුව එම සාමාජිකයින් හත් දෙනාගේ නිල කාලය මේ මාසයේ අවසන්වේ. අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම, අභියාචනාධිකරණයෙ සභාපති විනිසුරු පත් කිරීම, නීතිපති, පොලිස්පති, විගණකාධිපති මැතිවරණ කොමිසමේ සභාපති සහ ස්වාධීන කොමිෂන් සභා නවයට සාමාජිකයින් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත සිදු කෙරේ.


ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් 7 දෙනාගේ නිල කාලය මේ මාසයෙ අවසන් වන බැවින් ඉදිරියේදී අලුතින් සාමාජිකයින් නම් කර එවන ලෙස කතානායක වරයා ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විපක්ෂ නායකවරයාට සහ ජනතා විමුක්ති පෙරමුණට දැනුම් දෙනු ඇත.