වරාය දේපොල-ත්‍රි’මල තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න කලින් තවත් සාකච්ඡා


 

(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර අදාළ විෂය භාර ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කර එකඟතාවක් ඇතිකර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම්දී ඇත.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස අගදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, එහිදී මෙරට ව්‍යාපෘති කිහිපයක් ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව ඇත.


ඉන්දියාව සමඟ අත්සන් කෙරෙන අවබෝධතා ගිවිසුම් යටතේ එරටට බදුදෙන ව්‍යාපෘති කිහිපයක ලැයිස්තුවක්ද ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.


ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිපදෙනකු එහිදී පරස්පර අදහස් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට තිබේ.


මේ නිසා එම ගිවිසුම අත්සන් කිරීමට පෙර ව්‍යාපෘති සම්බන්ධයෙන් අදාළ විෂයභාර ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කර කඩිනමින් එකඟතාවකට එන්නැයි ජනාධිපතිවරයා එහිදී දැනුම්දී ඇත.