වයඹ ගිනි තිබි​ෙබි දේශපාලන හස්තයකින්?


(පුෂ්පකුමාර ජයරත්න) 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය දින දෙකක කාලයකදී හටගත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් සඳහා මෙරට ප්‍රධානපෙළේ දේශපාලන පක්‍ෂ කීපයකම ආධාර හා අනුබල ලැබී 

තිබෙන බව එම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන ඇතැයි වාර්තාවේ. 

කුලියාපිටිය, බිංගිරිය සහ හෙට්ටිපොළ මැතිවරණ බල ප්‍රදේශ ආශ්‍රිතව පසුගිය 12, 13 දෙදින තුළ ඇතිවූ ප්‍රචණ්කාරී සිදුවීම් පසුපස මෙම දේශපාලන හස්තයන් ක්‍රියාත්මකව ඇති බව ඒ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද ආරක්‍ෂක අංශ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව දැනගැනීමට ලැබේ. 


 ඉකුත් 12 වන දින රාත්‍රියේ කුලියාපිටිය කරන්තිප්පොල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරික ස්ථාන කීපයකට පහරදී අලාභහානි සිදුකිරීමේ චෝදනාව යටතේ තරුණයන් සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් අනතුරුව ජනතාවගෙන් එල්ලවූ විරෝධතාවයක් සැලකිල්ලට ගෙන ඉදිරි විමර්ශන සඳහා ඔවුන් පෞද්ගලික ඇපමත මුදාහැරීමට කුලියාපිටිය පොලිසියට කටයුතු කර තිබුණි. 


එම සිද්ධියෙන් අනතුරුව කුලියාපිටිය නගරයේ සාමකාමී වාතාවරණයක් ඇති වුවද ඉන්පසුව පොලු මුගුරුවලින් සන්නද්ධව ඉතා සංවිධානාත්මක ලෙස යතුරුපැදිවලින් කුලියාපිටිය නගරයට ඇතුළු වූ කණ්ඩායමක් නැවත වරක් කරන්තිප්පොළ ප්‍රදේශයේ සහ කුලියාපිටිය නගරයේ මුස්ලිම් ජනතාවට අයත් වෙළෙඳසැල්වලට පහරදී ගිනි තබා අලාභහානි සිදුකර තිබේ. 


කුලියාපිටිය සහ හෙට්ටිපොළ ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පසුපස ප්‍රධානපෙළේ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් සිට ඇති බව මේ වනවිට අනාවරණය කරගෙන ඇත.   


මේ ආකාරයට ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූ දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයේ සැරිසැරූ බව කියන ඇමැති ආරක්‍ෂක අංශයට අයත් සුඛෝපභෝගී ජීප් රථ තුනක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා විමර්ශන සිදුකරන ආරක්‍ෂක අංශ තම විශේෂ අවධානය යොමු කර තිබේ. 


ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති වූ ප්‍රදේශ ආශ්‍රිතව විවිධ ස්ථානවල සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිවල පටිගතව තිබූ දර්ශන පරීක්‍ෂා කිරීමෙන් සහ එම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ද මෙම ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ වයඹ පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි ද වාර්තා වේ.