ලෝකයේ ප්‍රථම ගුවන් යානා ගෙනයන යුද නැව මඩකළපුව මුහුදු පත්ලෙන් සොයාගත් හැටි


මුහුදු පතුලේ ගිලී ඇති නැවේ දර්ශනයක්.

 

 

දෙවන ලෝක යුද සමයේ මඩකළපුවට කිලෝමීටර් 08ක් පමණ දුරින් මුහදු තීරයේදී ජපන් ගුවන් හමුදාව බෝම්බ දමා විනාශ කළ එච්.එම්.එස්. හර්මිස් නෞකාව මුහුදුබත් වී මෙම වසරට වසර 75ක් සපිරේ. වසර 75ක් ගතවීමේදී මීටර් 60ක් පමණ මුහුද යට තිබෙන මෙම නෞකාවට අරලිය මල් කළඹක් තබා මිය ගිය අය සිහි කිරීම පසුගිය අප්‍රේල් 09 වැනි දින සිදු විය. මෙම මල් කළඹ තැන්පත් කළේ ගැඹුරු මුහුදේ කිමිදීමට සහජ දක්‍ෂතාවක් ඇති ප්‍රකට කිමිදුම්කරුවකු වන ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුත්‍රයා වන ශෂාන් ප්‍රනාන්දු මහතාය. 


1942 විනාශ වූ නෞකාව මුහුදුබත් වූ ස්ථානය සොයාගෙන මෙම නැවට කිමිදීමේ වාසනාව හිමි වූයේද ෆිලීෂියන් ප්‍රනාන්දු මහතාටය. මීගමුවේ කොච්චිකඬේ උපන් ප්‍රනාන්දු මහතා පවුලේ දෙවැනි සාමාජිකයා විය. ඔහුට සහෝදරියක් සහ සහෝදරයෙක්ද සිටිති. ඔහුගේ වෘත්තිය වූයේ විදේශිකයන්ට මාර්ගෝපදේශකයකු වශයෙන් කටයුතු කිරීමය. මෙයට අමතරව පිහිනීමට සහ කිමිදීමට හැකියාවක් තිබුණි.


සංචාරක කර්මාන්තයේ නියැළෙන විටත් ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා කිමිදුම් පුහුණුකරුවෙකු ලෙස සේවය කර ඇත. මොහුගේ විශේෂ කැමැත්තක් වූයේ මුහුදු පතුල යට විනාශ වී ගිය නෞකා පිළිබඳව ගවේෂණය කිරීමයි. 1986 වසරේදී සංචාරක කර්මාන්තයේ බලපත්‍රය ලබාගැනීම සඳහා වසරක පුහුණු පාඨමාලාවක් හදාරා තිබේ. එම පුහුණු පාඨමාලාව හදාරන අවස්ථාවේදී එහි සිටි අධ්‍යක්‍ෂක ජනරාල්වරයා වූ පී. ටී. පෙරේරා මහතාගෙන් දෙවන ලෝක යුද සමයේදී විනාශ වූ නෞකාව පිළිබඳව මූලික තොරතුරු දැන ගැනීමට හැකි විය. මෙම තොරතුරු දැනගත් මොහොතේ සිට හර්මිස් නැවට කිමිදීමට පිලීෂියන් ප්‍රනාන්දු මහතාට මහත් ආශාවක් සහ වුවමනාවක් ඇති විය. 


මේ පිළිබඳව සොයාගෙන යාමේදී මිරෙන්ඩා නැමති කිමිදුම්කරුවකු මඩකළපුව ප්‍රදේශයේ කිලෝමීටර් 08ක් පමණ ඈතින් අඩි 120ක ගැඹුරේ නැවක් ඇති බව ඔහුගේ ලොග් සටහන් පොතක තිබූ සටහනක් ඔහුට හමු විය.


පසුව රොඞ්නි ජොන්ක්ලස් මහතා මෙම නැවට ගිය බවටද තොරතුරු සොයා ගැනීමට ෆිලීෂියන් ප්‍රනාන්දු මහතාට හැකි විය. මෙම පුද්ගලයා ධීවරයන් මෙම ස්ථානයට ගෙනැවිත් ඉදිවර ක්‍රමයට බස්සවා තිබේ. 


1983න් පසුව යුදමය වාතාවරණයක් ඇති වූ නිසා නාවික කටයුතු ඇනහිටි අතර, වසර 30ක් වන විට මේ නැවට යාමට තිබූ සලකුණු මඟ හැරී තිබුණි. මෙම නෞකාව තුළට කිමිදීමට ඔහුට තිබූ ආශාව නිසාම තවදුරටත් මේ පිළිබඳව කරුණු සෙවීමට ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා උනන්දු විය. පසුව ක්‍රිස්ටි ජයවර්ධන නැමති නාවික නිලධාරියකු ඔහුට හමුව තිබේ. 


මෙම නාවික නිලධාරියාගෙන් වැදගත් කරුණු කීපයක් සොයා ගැනීමට ඔහු සමත් විය. මෙම නැවෙහි නිල ඡායාරූප ශිල්පියා වන චාල්ස් මෝගන් නැමති අය 1983 වසරේ ලංකාවට පැමිණ මෙම ස්ථානයේ කිමිදී ඡායාරූප ගත් බවට තොරතුරු සොයා ගැනීමට ෆිලීෂියන් ප්‍රනාන්දු මහතාට හැකි විය. ඒ සඳහා ලංකාවේ දක්‍ෂ කිමිදුම්කරුවෙකු වන රොඞ්නි ජොන්ක්ලස් උදව් කර තිබේ. චාල්ස් මෝගන්ට මෙම නැවට යාම සඳහා යකඩ කූඩුවක් සකස් කර ඒ තුළට බැස පීනාගෙන ගොස් තිබේ. ඔහු එසේ කර ඇත්තේ මෝරුන්ගෙන් ආරක්‍ෂා වීම සඳහාය. මේ සඳහා රොඞ්නි සහ ඔහුගේ සගයා වන ෆෙඞ්රික්ගේ සහයෝගය චාල්ස් මෝගන් ලබාගෙන ඇත. 


මෙම නැවෙහි නිල ඡායාරූප ශිල්පියා මියගිය දිනෙක ඔහුගේ භෂ්මාවශේෂ මෙම නැව උඩට දමන ලෙස ජීවත්ව සිටින අවධියේදී ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඔහු මියගිය පසු ඔහුගේ පුත්‍රයා වන රෙක්ස් මෝගන් 1986 වසරේදී පියාගේ භෂ්මාවශේෂත් රැගෙන ලංකාවට පැමිණ තිබේ. 


චාල්ස් මෝගන් මහතාගේ පුත්‍රයා ලංකාවට පැමිණීමෙන් පසුව නාවික හමුදාව විසින් මේ කාර්යය භාරදෙනු ලැබුයේ නාවික හමුදාවේ මාධ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කළ ක්‍රිස්ටි ජයවර්ධන නැමති නිලධාරියාටය. ක්‍රිස්ටි ජයවර්ධන නැමති නිලධාරියා ෆිලීෂියන් ප්‍රනාන්දු මහතාට හඳුන්වා දී තිබෙන්නේ හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු මහතාය. 


මේ අතරතුර ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා මෙම නැව සෙවීම සඳහා ත්‍රිකුණාමල, කල්මුණේ, මාන්කේනි, කෝමාරිය යන ප්‍රදේශවල කිමිදී එච්. එම්. එස්. හර්මිස් නෞකාව සොයා තිබේ. මෙම කිමිදීම්වලදී දෙවන ලෝක යුද සමයේදී විනාශ වූ තවත් නැව් ගණනක් පිළිබඳව ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා සොයාගෙන ඇත. 


මාන්කේනිවලදී හර්මිස් නැවට ඉන්ධන සැපයූ බි්‍රටීෂ් සාජන් නැමති නැව පිළිබඳවද, කල්මුණේදී ඇටල්ස්ටේන් ඉන්ධන සැපයුම් නෞකාවක් පිළිබඳවද තොරතුරු සොයාගෙන තිබේ. තවද කල්මුණේදී හොලිහෝක් කොවෙයිට් නැමති යුද නෞකාවක් පිළිබඳවද, කෝමාරිවලදී භාණ්ඩ ප්‍රවාහනය කළ නෞකාවක් පිළිබඳව තොරතුරුද සොයාගෙන තිබේ. 


මෙම නෞකාවලට යාම සඳහා ෆිලීෂියන් ප්‍රනාන්දු මහතාට මඟ පෙන්වා ඇත්තේ එම ප්‍රදේශවල සිටින ධීවරයන්ය. 

එච්. එම්. එස්. හර්මිස් නෞකාව


නමුත් ෆිලීෂියන් ප්‍රනාන්දු මහතාගේ ඉලක්කය වී තිබුණේ හර්මිස් යුද නෞකාව පිළිබඳව තොරතුරු සොයා ගැනීමය. පසුව ඔහු විසින් නාවික හමුදාවේ ක්‍රිස්ටි ජයරත්න මහතා හමුවී නැව තිබෙන ඉසව්ව පිළිබඳ තොරතුරු සොයාගනු ලැබීය. ඒ අනුව වෙන්ඩලස් තුඩුවෙන් අංශක 10ක කෝණයක්ද, පුන්නකුඩා තුළින් අංශක 60ක්ද, මඩකළපුව ප්‍රදේශයෙන් අංශක 30ක්ද තිබෙන ප්‍රදේශයක මෙම නැව තිබෙන බවට පිලීෂියන් ප්‍රනාන්දු මහතා තොරතුරු ලබා ගැනීමෙන් පසුව හර්මිස් නෞකාව සෙවීමේ කාර්යය තවත් ඉක්මන් විය. 


මේ අතරතුර මඩකළපුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රින්ස් කාසිනාදන් මහතා විසින් ලියන ලද ලිපියක් පිලීෂියන් ප්‍රනාන්දු මහතාට හමුව තිබිණි. එම ලිපියේ සඳහන් වූයේ කාසිනාදන් මහතාට වයස අවුරුදු 16දී පමණ මඩකළපුව කොටුවේදී මෙම ප්‍රහාරය සියැසින් දුටු බවකි. මෙම සිද්ධිය පිළිබඳව කාසිනාදන් මහතා හමු වී කරුණු සනාථ කර ගැනීමෙන් අනතුරුව 2001 වසරේ ඔක්තෝබර් මාසයේදී මඩකළපුව මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 08ක් පමණ දුරට ගොස් නැංගුරමක් මුහුදට බස්සවා නැව සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ. එහිදී නැංගුරමට නැව පැටලී ඇති අතර, පසුව එය ජී. පී. එස්. වල සටහන් කරගෙන තිබේ. අනතුරුව එදිනම නැව බැලීම සඳහා මුහුදට කිමිදීමට පිලීෂියන් ප්‍රනාන්දු මහතාට හැකි විය. එදින තනිවම කිමිදුණු පිලීෂියන් ප්‍රනාන්දු මහතා විශාල මත්ස්‍ය සම්පතක් සමඟ නැව අසලට පීනාගෙන ගොස් තිබේ. විනාඩි 18ක පමණ කාලයක් මුහුද යට ගත කළ ඔහු නැව වටා ගොස් එහි ඡායාරූපද රැගෙන නැවත වතාවක් ගොඩබිමට පැමිණ තිබේ. 

ජපන් ගුවන් හමුදාව විසින් ගුවන් ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව එච්. එම්. එස්. හර්මිස් නෞකාව ගිලෙන අයුරු.

 


පසුව මේ පිළිබඳව තාක්‍ෂණය භාවිත කරමින් ගෑස් මිශ්‍ර කරමින් කිමිදුම් කටයුතු කරන සංගමය හරහා  දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම නැව බැලීම සඳහා ලෝකයේ විවිධ රටවල්වලින් පිලීෂියන් ප්‍රනාන්දු මහතාට ඉල්ලීම් ලැබී තිබේ. ඒ අනුව ඔස්ටේ්‍රලියාව, මහ බි්‍රතාන්‍යයෙන් වැඩිම පිරිසක් මෙම නැව බැලීම සඳහා දිය යට කිමිදීමට ලංකාවට පැමිණ තිබේ. මේ හේතුව නිසා පිලීෂියන් ප්‍රනාන්දු මහතා විසින් මඩකළපුව ප්‍රදේශයේ ගෑස් මිශ්‍ර කරමින් කිමිදුම් කරන පාසලක් ආරම්භ කර තිබේ. 


මින් අනතුරුව විදෙස් රටවල්වලින් පැමිණෙන පිරිස් ගෑස් මිශ්‍ර කරමින් සිලින්ඩර් ලබාගෙන පිලීෂියන් ප්‍රනාන්දු මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම හර්මිස් නෞකාව වෙත ගොස් තිබේ. පසුව හර්මිස් නෞකාවේ, හර්මිස් සංගමය විසින් එදිනම මෙම නැවේ මල් පොකුරක් තබා මියගිය අය අනුස්මරණය කරන ලෙස පිලීෂියන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව 2012 වසරේ අප්‍රේල් මස 09 වැනි දින මුලින්ම පිලීෂියන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුත්‍රයා ශෂාන් ප්‍රනාන්දු මහතා මුහුදේ කිමිදී හර්මිස් නෞකාවට මල් කළඹක් තබා මියගිය අයවළුන් අනුස්මරණය කර තිබේ. 


පසුව 2015 වසරේදී මාක් ෆවල් නැමති බි්‍රතාන්‍ය ජාතික කිමිදුම් උපදේශකවරයා එංගලන්තයේ ඩාට්ස් මවුස් නැමති නාවික පුහුණු මධ්‍යස්ථානයෙන් බි්‍රතාන්‍ය ධජයක් ලබා දී ඇති අතර, 2015 අප්‍රේල් මස 09 වන දින එම කොඩිය නැවේ රැඳවීමට කටයුතු කර ඇත. මෙම කාර්යය සඳහා ඔහු තවත් සංචාරකයන් කණ්ඩායමක් සමඟ පැමිණ තිබේ. ඔහු පළමු වරට පැමිණි දින සිට සෑම වසරකම මෙම අනුස්මරණය සඳහා සංචාරකයන් සමඟද සහභාගී වේ. 


විනාශයට පත් හර්මිස් නෞකාව තුළ ගුවන් යානා නාශක ගිනි අවි 08ක් අද ද දැක ගැනීමට හැකියාව තිබේ. මෙම අවි මත විශාල වශයෙන් කොරල්පර වැවී තිබේ. මීට වසර 75කට පෙර එල්ල කරන ලද ප්‍රහාරයේදී මිය ගිය නාවික සෙබළුන්ගේ හිස් කබල් සහ ඇටකටු අදටත් මෙම නෞකාව තුළදී දැකගත හැකිය. මෙම නෞකාව තුළ දුර බැලීමට භාවිත කරනු ලබන උපකරණද, නාවිකයන් විසින් ආහාරපාන ලබා ගැනීමේදී ප්‍රයෝජනයට ගනු ලැබූ උපකරණද එහි ජනේලයක් තුළින් විදුලි පන්දමක් දැල්වීමෙන් පසුව දැක ගැනීමට හැකියාව තිබේ. 


2009 වසරේ සිට මේ දක්වාම අප්‍රේල් 09 වැනි දින මල් කළඹක් තබා හර්මිස් නෞකාවේ සිටි පිරිස අනුස්මරණය කරන්නේ මහත් භක්තියකින් සහ ගෞරවයෙන්ය. 

ත්‍රීකුණාමලයේ ඇති මියගිය නාවිකයන් සෙහොන් කළ ස්ථානය.

 


එච්. එම්. එස්. හර්මිස් නෞකාව රාජකීය නාවික හමුදාවන් සඳහා නිපදවූ ලොව පළමු නැව විය. මෙම නෞකාවේ ගුවන් යානා 20ක් පමණ ගෙන යාමට හැකියාව තිබී ඇත. මෙම නැව නිෂ්පාදනය කිරීමෙන් පසුව විවිධ කටයුතු සඳහා යොදාගෙන තිබේ. 


දෙවන ලෝක යුද සමයේ එච්. එම්. එස්. හර්මිස් නෞකාව 1942 අප්‍රේල් මස 09 වැනි දින ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබිණි. මෙම නෞකාව බි්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් විය. මෙහි කපිතාන්වරයා වූයේ ආර්. ජේ. ඔන්සලෝන්ය. 1942 වසරේ අප්‍රේල් 04 වන දින රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් රාත්‍රී කාලයේ ශ්‍රී ලංකා අහසේ මුර සංචාරයේ නිරතව තිබුණි. එහි නියමුවා වූයේ බලගණ නායක ලෙනාඞ් බි්‍රචෙල්ය. ඉහළ අහසේ පියාසර කරමින් සිටි බි්‍රචෙල් මහතා නැගෙනහිර මුහුදේ නෞකා පෙළක් ලංකාව දෙසට දියත් වෙමින් තිබෙන බව පාලන මැදිරියට දැනුම් දී තිබේ. පාලන මැදිරියෙන් ගත් අවසරය මත ඔහු ඒ දෙසට ගමන් කළේය. එවිට ඔහු දුටුවේ ජපන් නාවික හමුදාවේ හයාරු සහ සෝර්යු යන නෞකා ලංකාව දෙසට පැමිණෙන බවයි. 


මේ පිළිබඳව පරීක්‍ෂා කළ බි්‍රචෙල් කොළඹට දැනුම් දීමට කටයුතු කර ඇත. මෙම පණිවිඩය ලබාදීමත් සමඟම ඔහු පදවමින් සිටි කැටලිනා වර්ගයේ ගුවන් යානය ජපන් හමුදාවේ ප්‍රහාරයට ලක්ව මුහුදට කඩා වැටී තිබේ. ඒ මොහොත වන විට බි්‍රචෙල් මෙම අනතුර පිළිබඳව දැනුම් දී තිබුණත්, ජපන් ප්‍රහාරයන් වැළැක්වීමට බි්‍රතාන්‍ය රාජකීය හමුදාවට නොහැකි වූයේ ජපනුන් කඩිනමින් ප්‍රහාර එල්ල කිරිම නිසාය. ජපන් ගුවන් හමුදාවේ බෝම්බ හෙළන යානා 54ක්, ප්‍රහාරක යානා 38ක්ද, සාමාන්‍ය බෝම්බ ප්‍රහාරක යානා 90ක්ද ශ්‍රී ලංකා අහස ආක්‍රමණය කරමින් බලය ගනු ලැබීය. ජපන් ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් කොළඹ වරායේ නවතා තිබූ රාජකීය නාවික හමුදාවට අයත් එච්. එම්. එස්. ටොනඩෝස් නැව සහ එච්. එම්. එස්. හෙක්ටර් නෞකා මුහුදුබත් විය.


රත්මලාන ගුවන් තොටුපළේ නවතා තිබූ රාජකීය ගුවන් හමුදාවේ ගුවන් යානා 27ක්ද බෝම්බ දමා විනාශ කිරීමට ජපන් ගුවන් හමුදාව කටයුතු කළේය. ජපනුන්ගේ මීළඟ ඉලක්කය වූයේ ත්‍රිකුණාමල වරාය බව දැනගත් බි්‍රතාන්‍ය නාවික හමුදාවේ ප්‍රධානියා වන අද්මිරාල් ජේම්ස් සමර්විල් හර්මිස් නෞකාව මාලදිවයින දෙසට යැවීමට කටයුතු කළත්, ජපන් ගුවන් හමුදාවේ නෙත් මානයෙන් බේරීමට නොහැකි විය. මඩකළපුව මුහුදේදී ජපන් ගුවන් යානා 80කින් පමණ එච්. එම්. එස්. හර්මිස් නෞකාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. මෙම ගුවන් යානා ගුවන් ගතව ඇත්තේ ජපන් නෞකා 03ක් තුළින්ය. ඒ වන විට ජපන් නෞකා 05ක් පමණ නැංගුරම් ලා තිබුණි. මෙම ප්‍රහාරක ගුවන් යානාවලට අණ දී තිබුණේ ජපන් නාවික හමුදාවේ අද්මිරාල් නගුමෝ ගුකීය. එම ප්‍රහාරයත් සමඟම නාවිකයන් 707 දෙනෙකු සමඟ එච්. එම්. එස්. හර්මිස් නෞකාව මඩකළපුව මුහුදේ ගිලෙන්නට විය. මේ අවස්ථාවේදී මෙම ප්‍රහාරයත් සමඟම නැවේ කපිතාන්වරයා වන කැප්ටන් ඔන්ස්ලෝ නැවට ආචාර කරමින්ම මියගොස් තිබේ. ඉතිරි නාවිකයන් 400ක් පමණ මුහුදේ පාවෙමින් සිටි අතර, ඒ පිරිස නැවේ තෙල් කාන්දුව අසලට පැමිණ පාවෙමින් සිට ඇත්තේ මෝරුන්ගෙන් බේරීම සඳහාය. 


මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී විටා නැමති රෝහල් නෞකාව තවත් කිලෝමීටර් 10ක් පමණ දුරින් තිබී ඇත. එම නෞකාව හර්මිස් නෞකාව තිබූ තැනට පැමිණ මුහුදේ පාවෙමින් සිටි නාවිකයන් 400 දෙනෙකුගේ ජීවිත බේරාගෙන ඇත. හර්මිස් නෞකාවට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී නාවිකයන් 23 දෙනෙකු කිලෝමීටර් 08ක් පමණ දුර පිහිනා මඩකළපුව වෙරළට පැමිණ දිවි ගලවාගෙන තිබේ. මෙම ප්‍රහාරයේදී නාවික භටයන් 307 දෙනෙකු මියගොස් ඇත. ප්‍රහාරයෙන් දින 03කට පසුව නාවික භටයන්ගේ මළ සිරුරු 03ක් මඩකළපුව නාවල්අඩි මුහුදු වෙරළට ගොඩ ගසා තිබේ. ඔවුන්ගේ ඇඳුම්වල තිබූ නාම තහඩුවලින් දෙදෙනෙකු හඳුනා ගැනීමට හැකිව තිබේ. ඔවුන් ආර්. බී. වැචර් සහ එල්. බී. ලුවිස් යන නාවිකයන් දෙදෙනා වූහ. එක් අයෙක් හඳුනා ගැනීමට නොහැකි විය. හඳුනාගත් දෙදෙනා ත්‍රිකුණාමලය සොහොනේ මිහිදන් කළ අතර, හඳුනා නොගත් නාවික සෙබළාගේ දේහය මහනුවර සොහොනේ මිහිදන් කර තිබේ. වසර ගණනක් තිස්සේ නැවේ සිටි අයගේ මිය ගිය ඥාතීන් මෙම නැව ගිලුණු ස්ථානය සොයා ගැනීමට උත්සාහ කළත්, ඔවුන්ට එය සොයා ගැනීමට නොහැකි විය. එම කාර්යය සිදු කිරීමට හැකි වූයේ ප්‍රකට ශ්‍රී ලාංකික කිමිදුම්කරුවෙකු වන පිලීෂියන් ප්‍රනාන්දු මහතාය.  


ලෝකයේ නිෂ්පාදනය කරන ලද පළමුවන යුද නැව ජපන් බෝම්බ ප්‍රහාරයෙන් ගිලී යාමෙන් පසුව එය සොයා ගැනීමෙන් පිලීෂියන් ප්‍රනාන්දු මහතා ලංකාවට විශාල ගෞරවයක් ගෙන දී තිබේ. නමුත් ඔහු කළ සේවය පිළිබඳව කිසිදු රජයකින් ඇගයීමක් නොකිරීම කනගාටුවට කරුණකි. දශක කීපයක් තිස්සේ කිමිදුම්කරුවකු ලෙස සේවය කරන පිලීෂියන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාද, බිරිඳ වන රේණුකා ප්‍රනාන්දු ද කිමිදුම්කරුවෙකු ලෙස කටයුතු කරන්නීය. ලංකාවේ සිටින එකම කිමිදුම් පුහුණුකාරිණියද රේණුකා ප්‍රනාන්දු මහත්මිය වේ. මෙම පුහුණුවීම් සඳහා අවශ්‍ය ගෑස් වර්ග ඇතුළු විවිධ දේවල් විදේශ රටවලින් මෙරටට ආනයනය කිරීමෙන් පසුව රේගුවේදී ඒවා ලබා ගැනීම ප්‍රමාද වීම නිසා එය ඔවුන්ගේ කර්මාන්තයට මහත් අවහිරතාවක් වී තිබේ. ජාතික මෙන්ම ජාත්‍යන්තරයේ නමක් දිනාගෙන සිටින පිලීෂියන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා කිමිදුම් සංචාරකයන්ගේ සේවා සපයන ආයතනයේ හිමිකරුය.


පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම සඳහා බලපත්‍ර සහ පුහුණුව ලබා ගන්නේ පැඩී නැමති ජාත්‍යන්තර සංවිධානයකිනි. එම සංවිධානයේ තරු 05ක් ලත් විශේෂ පුහුණුකරුවකු වීමද පිලීෂියන් ප්‍රනාන්දු මහතාගේ ඉතා සුවිශේෂ දක්‍ෂතාවකි. පිලීෂියන් ප්‍රනාන්දු මහතා වැනි දක්ෂයන් අපේ රටට සම්පතකි. මෙවැනි වටිනා  පුද්ගලයන් ප්‍රයෝජනයට ගෙන අපේ රටට වැඩිපුර සේවා ලබා ගැනීමට කටයුතු කිරීම රජයේ යුතුකමක් සහ වගකීමකි.


සටහන-ඡායාරූප : අම්පාර
වසන්ත චන්ද්‍රපාල