ලෝක බලවතුන්ගේ පැමිණීම දේශපාලනයේ කතාබහට


 

(අජන්ත කුමාර අගලකඩ)   

ලෝකයේ බලවත්ම රාජ්‍යයන් හතරක ඉහළම පෙළේ නියෝජිතයන් සිවුදෙනකු ගිය සතියේ එකම දිනෙක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ මේ වනවිට දැඩි අවධානයට ලක්ව ඇත.   

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වේල්ස් මහත්මියද චීන විදේශ ඇමැති වැන්ග් යී, රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ ජපාන රාජ්‍ය ඇමැති කොසෝ යමමොතෝ යන මහත්වරුද මෙසේ පැමිණ සිටි ඉහළ පෙළේ විදේශ නියෝජිතයෝ වූහ.   


ලෝකයේ ධනවත්ම සහ බලවත්ම රාජ්‍යයන් හතරක ඉහළම පෙළේ නියෝජිතයන් ඉකුත් අඟහරුවාදා (14) මෙරටට පැමිණ රජයේ ඉහළම නායකයන් එකම දිනයේ හමුවූයේ ඇයිද යන්න දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.   


මෙම නියෝජිතයන් සිවුදෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.   


ඇ​ෙමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය ඉකුත් අඟහරුවාදා දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇ​ෙමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇති කැමැත්ත ප්‍රකාශ කරමින් ඔහු විසින් එවන ලද විශේෂ ලිපියක්ද ඇය ජනාධිපතිවරයාට භාරදී ඇත.   


මේ අතර එදිනම දහවල් ජනාධිපතිවරයා හමුවූ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ජනාධිපතිවරයාට පොරොන්දුවී ඇත.   


චීනයේ විදේශ ඇමැති වැන්ග් යී මහතා අප්‍රිකානු කලාපයේ සංචාරයක් සඳහා පිටත්ව යන අතර හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහුද අඟහරුවාදා දහවල් ජනාධිපතිවරයාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් හමුවිය.   


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන රජයේ ආරාධනයක් මත ලබන මාසයේ නිල සංචාරයක නිරතවීමට නියමිත අතර, එම සංචාරයේ පූර්ව සූදානම් කටයුතු සඳහා චීන විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු බවද පැවැසේ.