ලෝක තෙල් මිල බහිද්දීත් අපේ ටැංකි දෙකක් බාගෙට පුරවලා


 

(දයාසීලි ලියනගේ)   

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඍණ මට්ටමට පැමිණ ඇති අවස්ථා වේ. එහි වාසිය ලබා ගැනීමට සියලු තෙල් ගබඩා මුළුමනින්ම පුරවා ගෙන සිටිය යුතු වුවත් මන්නාරම හා කන්කසන්තුරේ මෙට්ට්‍රක් ටොන් 20,000ක් ගබඩා කළ හැකි ඉන්ධන ටැංකි දෙකකට මෙ.ටො. 4000ක් පමණක් ගබඩා කර ගෙන සිටි බව අනාවරනය වී ඇත.   

ඇමැති මහින්ද අමරවීර මහතා විසින් කරන ලද සොයා බැලීමකදී මේ බව අනාවරණය වී ඇත.   
මීට පෙර මෙම තෙල් ටැංකි දෙකේ මෙට්ට්‍රික් ටොන් 4000ක් පමණක් ගබඩා කර තිබෙන නිසා ඉන්ධන මිල පහළ බැස තිබුණත් එම ප්‍රමාණයේ වෙනසක් කිරීමට අදාළ නිලධාරීන් කාර්යක්ෂම වී නොතිබුණ බව සඳහන් වේ.   


මෙහිදී නිලධාරීන්ට තරයේ දොස් පවරා ඇති ඇමැතිවරයා වහාම මෙම තෙල් ටැංකි දෙක උපරිමව පුරවා තබන ලෙස නියම කර ඇත.   


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලුම තෙල් ටැංකිවල මේ වෙනවිට ඉන්ධන පුරවා ඇති අතර තවදුරටත් ඉන්ධන ගබඩා කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ද දැන ගන්නට ඇත.   
ත්‍රිකුණාමලය හා හම්බන්තොට තෙල් ටැංකි ඉන්දියාවට හා චීනයට ලබාදී තිබෙන නිසා ඒවා සංස්ථාවේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට නොහැකි වී ඇත. මේ තත්ත්වය නිසා ලෝක තෙල් මිල ඍණ තත්ත්වයට පත්වී තිබුණත් එහි උපරිම වාසිය ලබාගැනීම සඳහා තවත් වැඩිපුර ඉන්ධන ගබඩා කර ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.