ලෝක ආර්ථික ආයතන ණය අර්බුදය දුටු හැටි


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත්, මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත් කිරීමත්, පාර්ලිමේන්තුව විසුරුවීමත් යන කරුණු මුල්කර ගනිමින් ඇති වූ දේශපාලන වාතාවරණය ඇතැම්හු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් යැයි ද ඇතැම්හු දේශපාලන අර්බුදයක් යැයි ද තවත් පිරිසක් කුමන්ත්‍රණයක් යැයි ද අර්ථ දක්වන්නට වූහ. බල අරගලයක් තිබෙන බව පැහැදිලිය. බල සටන නිසා දේශපාලන අස්ථාවරත්ව සහ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය විය. එම තත්ත්වය කිසිසේත්ම ආර්ථිකයට හිතකර නොවන බව පැහැදිලිය. රටක යම්කිසි දේශපාලන අර්බුදයක් නිර්මාණය වන්නේ ද එය ආර්ථිකයට යහපත් නොවන බව තේරුම් ගැනීමට බොහෝ වෙහෙසක් ගත යුතු නැත.


ආණ්ඩුවක කඩා වැටීම, දේශපාලන පක්ෂ අතර තිබෙන ගැටුම්, අර්බුද හෝ මැඩ පැවැත්වීමට දුෂ්කර තරගකාරීත්වය දේශපාලන අවිනිශ්චිත බව යනුවෙන් සරලව හඳුන්වා දිය හැකිය. ආණ්ඩු මාරුවක් නිසා සිදුවන, ඇතිවන වෙනස්කම් ද දේශපාලන අවිනිශ්චිත තත්ත්වයක් ලෙසින් පෙන්වාදිය හැකිය. දේශපාලන අවිනිශ්චිත තත්ත්වය යනු නොනැසී පවතින ක්‍රියාවලියකි. එසේත් නැතිනම් දේශපාලන අවිනිශ්චිත තත්ත්ව අනවරතය.


ආර්ථික වර්ධනය සහ දේශපාලන ස්ථාවරත්වය එකිනෙක සම්බන්ධය. ආර්ථික වර්ධනය සහ දේශපාලන ස්ථාවරත්වය අතර තිබෙන අන්තර් සබඳතාව ඉතා ගැඹුරු හා පුළුල් එකකි. අනෙක් අතට අවිනිශ්චිත තත්ත්ව අස්ථාවර දේශපාලන පරිසරයක් හා සහසම්බන්ධ අතර එම නිසා ආයෝජන අඩුවී ආර්ථික සංවර්ධනයේ වේගය අඩාළ විය හැකිය. මේ සරල කරුණු තේරුම් ගැනීමේදී අපට මෙරට වත්මන් තත්ත්වය තේරුම් ගැනීමට අපහසු නොවේ. ඇති වී තිබෙන අස්ථාවර අවිනිශ්චිත දේශපාලන තත්ත්වය ඉක්මනින් නවතා දේශපාලනය යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් කළ යුතු අතර එය දේශපාලන බල අධිකාරියේ ප්‍රධාන සහ ප්‍රමුඛ වගකීමකි.


තරුණ කැරැලි කෝලහල, තිස් වසරක සිවිල් යුද්ධය මෙරට ආර්ථිකය දරුණු ලෙස පසුපසට ගියේය. යුද්ධයෙන් පසු රට තුළ ස්ථාවර දේශපාලන තත්ත්වයක් නිර්මාණය වූ අතර ගෙවීගිය වසර නවයක කාලයේදී පත්වූ ආණ්ඩු දෙක යටතේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රට ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත් එම පාර්ශවයේ පිරිස් පෙන්වාදෙති. එම සමයේදී රට ණය වූ බවත් තමන් ආර්ථිකය ස්ථාවර කරමින් ආර්ථිකය සංවර්ධන මාවතකට ගෙන ආ බව සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාර්ශ්වය පෙන්වාදෙති.


ඒ සියලු කරුණු මධ්‍යයේ වත්මන් තත්ත්වය පිළිබඳව සලකා බැලීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි. විශේෂයෙන්ම ඔක්තෝබර් 26ට පෙර තිබූ තත්ත්වයත් ඉන් පසුව ඇතිව තිබෙන තත්ත්වයත් වත්මන් දේශපාලන අර්බුදයෙන් පසු තත්ත්වයත් විමසා බැලීම වටී.


ලබන වසරේ සිට ශ්‍රී ලංකාව වසරකදී සාමාන්‍ය වශයෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නොවැම්බර් මස දෙවැනි සතියේදී පැවැසීය. ඒ අනුව ඉදිරි වසර පහක කාලයේදී ශ්‍රී ලංකාව පොළී නොමැතිව ගෙවිය යුතු විදේශ ණය නැවත ගෙවීම් පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 20ක් බව එම මාධ්‍ය හමුවේදී කියැවිණි.


එවැනි තත්ත්වයක් මත ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් පසුගිය මාසයක කාලයේදී ශ්‍රී ලංකාව අවදානම් ශ්‍රේණිගත කිරීම්වල පහළ මට්ටම්වලට දැමීය. දෙසැම්බර් 3 වැනිදා ෆිච් රේටින්ග්ස් සහ දෙසැම්බර් 4 වැනිදා එස්.ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් ආයතන මෙරට දිගුකාලීන විදෙස් ණය ශ්‍රේණිගත කිරීම් ‘බී (ස්ථාවර) සිට ‘බී (ස්ථාවර) දක්වා පහත හෙළීමට පියවර ගත් අතර නොවැම්බර් මස 20 වැනිදා මූඩීස් ආයෝජන සේවා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් බී1 (ඍණ) සිට බී2 (ස්ථාවර) මට්ටම දක්වා පහත දැමීය.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනිදා නව අග්‍රාමාත්‍යවරයකු පත් කරනු ලැබීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ප්‍රතිපත්තිවල අවිනිශ්චිත බව, අයවැය ඒකාග්‍රතාව මන්දගාමී වීමේ අවදානම සහ විදේශ ණය නැවත ගෙවීම පිළිබඳ ඇති වූ අවදානම යන කරුණු නිසා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමට පියවර ගත් බව අවසන් වරට ශ්‍රී ලංකාව පහළ ශ්‍රේණියකට දැමූ ‘ෆිච් රේටින්ස්’ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කළේය. මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව 2019 වසරේ සිට 2022 දක්වා කාලයේදී ගෙවිය යුතු විදේශීය මුදල් ඒකක පදනම් කරගත් ස්වෛරීත්ව ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 20.9ක් යැයි ද ‘ෆිච් රේටින්ස්’ ආයතනය සඳහන් කර තිබිණි.


කෙටිකාලීන දේශපාලන අවිනිශ්චිත තත්ත්ව පදනම් කර ගනිමින් ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැසීය.


“ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන්වී තිබෙනවා. කෙටිකාලීන දේශපාලන අවිනිශ්චිත පදනම් කර ගනිමින් ශ්‍රේණිගත කිරීමේ ආයතන එම තීරණ ගෙන තිබෙනවා. එවැනි අවිනිශ්චිත තත්ත්ව පවතින්නේ සති කිහිපයක් පමණක්” යැයි වීරසිංහ මහතා කීය.


ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනවල නව ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට ගත් තීරණවලින් රටේ සාර්ව ආර්ථික මූලධර්ම නිසිලෙස පිළිබිඹු නොවන බවත් සාර්ව ආර්ථික මූලධර්මවලින් පිළිබිඹුවන සාධකවලට පටහැණිව එම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති බවත් පෙන්වාදුන් ශ්‍රී ලංකා මහ බැංකුව කරන ලද ශ්‍රේණිගත කිරීම් සාධාරණ නැතැයි ද සඳහන් කළේය.


වත්මන් දේශපාලන අර්බුදය හමුවේ වුවද විශේෂයෙන්ම මූල්‍ය අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීමේ වගකීම් ඇතුළුව ආර්ථිකය මත ඇතිවිය හැකි ඕනෑම බලපෑමක් අවම කිරීම සඳහා මහ බැංකුව සහ රජය ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබිණි.


ශ්‍රී ලංකා මහ බැංකුව සහ මූල්‍ය අංශ දේශීය සහ විදේශීය අවදානම්වලට සාර්ථකව මුහුණදීමට හැකි මට්ටමේ පවතින බව තවදුරටත් අවධාරණය කළ යුතු යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.


මෙසේ පහළ ශ්‍රේණිවලට ඇද දැමීමෙන් ආයෝජකයන් ශ්‍රී ලංකාව කෙරෙහි තබා තිබෙන විශ්වාසය පළුදුවී යන අතර රටට වෙළෙඳ පොළින් ණය ගැනීමට තිබෙන අවස්ථාවට දැඩි ලෙස බලපෑම් එල්ල කරනු ඇත. එසේ බලපෑම් එල්ල වන්නේ හිතකර අයුරින් නොවන බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. සැලකිලිමත් විය යුතුය. ශ්‍රේණිගත කිරීම්වල පහළට දැමූ පසු ආයෝජකයෝ එවැනි රටවල ආයෝජනය කිරීමට හා ණය ලබාදීමට පැකිළෙති.


විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනිදා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී පමණක් රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට 2016 දී එකඟතාව පළකර තිබූ අතර එයින් දැනට ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ශ්‍රී ලංකාව සඳහා නිදහස් කර ඇත. එයින් එක් වාරිකයන් දෙසැම්බර් මාසයේදී ලැබීමට නියමිතව තිබූ අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය හේතුවෙන් එම ණය වාරිකය නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇත. වත්මන් දේශපාලනය දිගින් දිගටම පැවැතුණහොත් සහ මානව හිමිකම්, යහපාලනය, නීතියේ ආධිපත්‍යය තර්ජනයකට ලක්වුවහොත් ශ්‍රී ලංකාවට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව රටවල් කිහිපයක් අනතුරු අඟවා ඇත. වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබීමට නියමිතව තිබූ මිලියන ගණනක ආධාර වැඩසටහන ප්‍රමාදවෙමින් තිබේ. ‘ලයිට් රේල්’ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් ලැබීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 මුදල සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ සෞඛ්‍යය ක්ෂේත්‍රවල වර්ධනය සඳහා ඇමෙරිකාවෙන් ලැබීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මුදල ප්‍රමාදවෙමින් පවතී.


යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළකි. යුරෝපයට අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාව ජී.එස්.පී. ප්ලස් සහනයට යටත්ව අපනයනය කරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වූ අතර සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව සමයේදී ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට නැවත හිමිවිය. මානව හිමිකම් සුරක්ෂිත කිරීම යනාදිය ඇතුළුව ජාත්‍යන්තර ප්‍රඥප්ති සහ දුන් පොරොන්දුවලට අනුකූලව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වනු ඇතැයි යුරෝපා සංගමය අර්බුදය ඇති වීමෙන් පසුව අනතුරු ඇඟවීය.


ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පහසුවෙන් නොසලකා හැරිය නොහැක. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ග්‍රීසිය සහ සෝමාලියාවටත් වඩා උග්‍ර තත්ත්වයකට පත්ව ඇතැයි ඇතැම් ආර්ථිකවේදීහු පෙන්වා දෙති. ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථික හිමි රටවල් දෙක සිටින්නේ ආසියාවේය. එකක් චීනය වන අතර අනෙක ඉන්දියාවයි. ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකම පසුගිය වසර කිහිපයේදී සියයට හයත් හතත් ඇතැම් අවස්ථාවලදී ඊට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් ද පවත්වාගෙන ගියහ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුවලට අනුව ඉන්දියාව ලබන වසරේදී සියයට 7.4ක ආර්ථික වර්ධන වේගයක් ද චීනය සියයට 6.2ක ආර්ථික වර්ධන වේගයක් ද පවත්වාගෙන යනු ඇතැයි පැවසේ. ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය ආසියාව වන අතර එයින්ද වර්තමානය වනවිට වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්ව ඇත්තේ දකුණු ආසියානු කලාපයයි. දකුණු ආසියානු කලාපය මේ වසරේදී සියයට 6.9 ආර්ථික වර්ධන වේගයක් ද ලබන වසරේදී සියයට 7.1ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇතැයි ද ලෝක බැංකුව මේ වසරේ අප්‍රේල් මාසයේදී සඳහන් කළේය.


ලොව වේගයෙන්ම වර්ධනය වන කලාපයේ සිටින ශ්‍රී ලංකාව සිටින්නේ කලාපයේ සියලු රටවල්වලට පහළිනි. පසුගිය සමයේදී එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීමත් සමඟ ලොව අනෙක් මුදල් ඒකක වාර්තාගත අයුරින් අවප්‍රමාණය වූ අතර අනෙක් මුදල් ඒකක ක්‍රමයෙන් ස්ථාවර වුවද ශ්‍රී ලංකා රුපියල තවමත් වාර්තාගත අන්දමින් අවප්‍රමාණය වෙමින් තිබේ. එවැනි තත්ත්වයක් මත ශ්‍රී ලංකාව සිටින්නේ අවසන් තැනට ඉහළිනි.


ලෝක බැංකුව පසුගිය ඔක්තෝබර් මාසයේදී පෙන්වාදුන් පරිදි වේගවත්ම ආර්ථික වර්ධනයට හිමිකම් කියන්නේ ඉන්දියාවය. මේ වසරේදී බංග්ලාදේශය සියයට 7.9ක, භූතානය 4.6ක, ඉන්දියාව 7.3ක, මාලදිවයින සියයට 8.0ක, නේපාලය සියයට 6.3ක, පාකිස්තානය සියයට 5.8ක ආර්ථික වර්ධනයකට හිමිකම් කියනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. එම ඇස්තමේන්තු කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.9ක් ලෙසත් ඇෆ්ගනිස්තානයේ ආර්ථික වර්ධන වේගය සියයට 2.4ක් ලෙසත් ඇස්තමේන්තු කර ඇත. ඉදිරි වසර දෙකේ (2019 සහ 2020) යන වසරවල ද එහි වෙනසක් නැත.


ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය නිසා ආර්ථිකයට දිගුකාලීනව දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කොළඹදී පැවැසීය.


වත්මන් දේශපාලන අර්බුදය නුදුරේදී විසඳා ගත්ත ද එම නිසා ආර්ථිකයට සිදුවන අහිතකර බලපෑම දිගුකාලීනව පවතින බවත් එය ගණනය කළ නොහැකි තරම් විශාල යැයි ද මහාචාර්ය අබේරත්න මහතා කීය.


කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් මහාචාර්යවරයා එම කරුණු කීවේය.


මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ඇත්තේ අවදානම් තත්ත්වයක බව පැහැදලිය. කුමන ආණ්ඩුවක් යටතේ වුවද කුමන අග්‍රාමාත්‍යවරයෙක් යටතේ වුවද දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම ආර්ථික සංවර්ධනය උදෙසා අත්‍යවශයෙන්ම සිදුකළ යුතුය. දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ආර්ථික ස්ථාවරත්ය ඇති කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ යුතුයි. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කළ යුතුය. එසේ නොමැතිව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හෝ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට නොහැකිය.

 

 

හර්ෂණ තුෂාර සිල්වා