ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ගරන්න පුරුදුවෙලා


(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)  

රජයට සම්බන්ධ එක් දේශපාලන පක්ෂයක් තම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය බරපතළ ලෙස අපහරණය කරමින් සිටින බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වී තිබේ.  

රජය නියෝජනය කරන සුළු ජාතික පක්ෂයක් වන මෙම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් හිමිය. රජය බලයට පැමිණ වසර තුනක් ගතවෙන විට එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයන් තිදෙනකු පත්කර තිබේ. එක් මන්ත්‍රීවරයකුගේ කාලය වසරකට සීමාවේ. වසරක කාලයකින් පසුව ඔහු ඉල්ලා අස්වෙන අතර පුරප්පාඩුව සඳහා වෙනත් පුද්ගලයකු පත් කරනු ලබයි. අවසන් වරට එම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා පුද්ගලයකු පත් කරනු ලැබුවේ ඉකුත් සතියේය.  


වසරක කාලයක් සඳහා පත්වෙන මන්ත්‍රීවරයාටද අනෙකුත් මන්ත්‍රීවරුන්ට ලැබෙන බොහෝ වරප්‍රසාද හිමිවෙන අතර තීරුබදු රහිතව වාහන ගෙන්වීමේ බලපත්‍රයද එයට ඇතුළත්ය. එම බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන බවත් එම බලපත්‍රය රුපියල් ලක්ෂ 350ක් වැනි මුදලකට විකුණන බවත් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.