ලබන මැයි-ජුනි කාලයේ ඡන්ද තියනවා නම් පළාත් සභා තුනේ මැතිවරණ කල් දානවාට විරුද්ධ නැහැ


 

(අජන්ත කුමාර අගලකඩ)   
සියලු පළාත් සභාවල මැතිවරණ ලබන වසරේ මැයි ජූනි මාසවල පවත්වන්නේ නම්, පළාත් සභා තුනේ මැතිවරණ කල් දැමීමට තමා විරුද්ධ නැතැයි කම්කරු, වෘත්තීය සබඳතා හා සබරගමුව සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ‘‘ඉරිදා ලංකාදීප’’යට පැවැසීය.   

එමෙන්ම පළාත් සභා මැතිවරණය ද පළාත් පාලන හා මහ මැතිවරණය මෙන් කොට්ඨාස සහ අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්විය යුතු බව ද ඇමැති සෙනෙවිරත්න මහතා කීවේය.   


එසේ නැතිව පළාත් සභා මැතිවරණය අසීමිත ලෙස කල් දැමීමට තමා විරුද්ධ බව ද ඔහු සඳහන් කළේය.   


පළාත් සභා පනත සංශෝධනය කර 2019 ඔක්තෝබර් මාසයේ නිල කාලය අවසන් වෙන පළාත් සභාවල ලබන මැයි මාසයේ මැතිවරණය පැවැත්වීමට හැකිවන සේ කලින් විසුරුවා හැරීමත්, මේ වසරේ නිලකාලය අවසන් වන පළාත් සභා දෙකේ මැතිවරණය ලබන වසරේ මැයි වනතෙක් කල්දැමීමත් එකට සිදුවිය යුතු යැයි ද ඇමැතිවරයා කීවේය.  මැතිවරණය එකම දිනකදී පැවැත්වීම සහ කොට්ඨාස අනුපාත මිශ්‍ර ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම යන කරුණු දෙක මත පළාත් සභා මැතිවරණය කෙටි කාලයකට කල්දැමීම ගැටලුවක් නොවන බව ද ඔහු සඳහන් කළේය.