ලංගමයේ සභාපති තනතුරට හමුදා නිලධාරියකු පත් කරන්න


ඇමැති අමරවීර ජනපතිගෙන් ඉල්ලයි   

ලංගමයේ ගැටුමක්

 

 

(දයාසීලි ලියනගේ)   

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා එම තනතුරෙන් ඉවත් කර ඒ සඳහා හමුදා නිලධාරියකු පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට ඇමැති මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.   

රජය අපකීර්තියට පත්වන ආකාරයට සභාපතිවරයා කටයුතු කරන චෝදනාව මත මෙම ඉල්ලීම කිරීමට ඇමැතිවරයා පියවර ගෙන ඇති බව වාර්තාවේ. අලුතෙන් පත් කරන ලද ඇතැම් ඩිපෝ අධිකාරිවරුනට සේවයට වාර්තා කිරීමට නොදී නිල කාමර වසා දමා තිබෙන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සභාපතිවරයා පියවරක් ගෙන නැති බවට හා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බොහොමයක් සාකච්ඡාවලට අදාළ නිලධාරියා සහභාගි වී නැති බවටද චෝදනා ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.   


මීට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 6000ක ප්‍රමාණයෙන් ධාවනයට යෙදවිය හැකි බස් රථ 700ක් පමණ නිසි කළමනාකරණයක් නොවීමෙන් ධාවනයේ නොයොදවන බවද ඔහු කීය.   


මණ්ඩලය වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යාමට අදාළ සභාපතිවරයා පියවර නොගන්නා බවටද ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙයි.