ලංකාවේ දිගම ඇත්දළ විකුණන්න ගිය කල්ලිය කොටුවෙයි


 

ගල්ගමුව ප‍්‍රදේශයේ ජීවත් වූ දළ පූට්ටුවා ඝාතනය කර මාස දෙකක් යාමටත් මත්තෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් අලි ඇතුන් මරා දැමීමේ සිදුවීම් ගණනාවක් වාර්තා විය. මීට ආසන්නතම සිදුවීම පසුගිය දා වාර්තා වූයේ මන්නාරම සිලාවතුර ප‍්‍රදේශයෙනි.   


ඒ, අඩි 5කට ආසන්න දිගින් හා කිලෝ ග‍්‍රෑම් 50කට ආසන්න බරකින් යුත් ඇත් දළ යුගලයක් ලක්ෂ 60කට විකිණීමට තිබෙන බවට අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුවයි. විල්පත්තුව වාස භූමිය කරගෙන ජීවත් වූ සද්දන්ත ඇතකුගේ දළ යුගලයක් කිසියම් හෝ පුද්ගලයන් පිරිසක් විසින් විකිණීමට සූදානම් කර තිබෙන බවට පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. මෙතෙක් හමු වූ විශාලතම ඇත් දළ යුගලය මෙය වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.   


ලැබුණු එම පෞද්ගලික තොරතුරු පිළිබඳ විශේෂ අවධානය යොමු කළ පොලිස් අධිකාරිවරයා අදාළ ඇත් දළ යුගලය සහ සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳව සැලසුම් සකස් කළේය. තමන් රත්නපුර ප‍්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින්, වැටලීමට සඳහා සම්බන්ධ වන අනෙකුත් පොලිස් නිලධාරීන් මැණික් ව්‍යාපාරිකයා වන තමාගේ ගෝලයන් ලෙසට යොදා ගනිමින් මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමට පොලිස් අධිකාරිවරයා කටයුතු කළේය.   


ඒ අනුව ඇත්දළ යුගලයක් විකිණීමට සූදානම් කර තිබෙන බවට ලද මූලික තොරතුරු ඔස්සේ තම මෙහෙයුම ආරම්භ කිරීම සඳහා ඇත් දළ සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයන්ගේ දුරකතන අංක සොයාගෙන ඔවුන් සමග සෘජු දුරකතන සංවාදයේ නිරත විය. 

 
මැණික් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි පොලිස් අධිකාරිවරයා ප‍්‍රකාශ කළ තොරතුරුවලට රැවටුණු ඇත්දළ ජාවාරම්කරුවන් ලක්ෂ 50කට දළ යුගළය අලෙවි කිරීමට තමන් කැමති බව ප‍්‍රකාශ කරනු ලැබීය. පසුව රත්නපුරයේ සිට ගෝලයින් කණ්ඩායමක් මන්නාරම ප‍්‍රදේශයට වැඩිදුර සාකච්ඡා සඳහා හා දළ යුගළ පරීක්ෂා කිරීමට එවන බවට කතිකා කරගෙන මැණික් ව්‍යාපාරික තමාගේ ව්‍යාපාරික ස්ථානයේ ගෝලයකු ලෙස හඳුන්වා දෙමින් පොලිස් කොස්තාපල් (39938) අසංක සංජීව වන්නිනායක රියැදුරකු සමග මෝටර් රථයක මන්නාරම් ප‍්‍රදේශයට පිටත් කළේය.   


පසුගිය 28 වන දා සවස අනුරාධපුරයෙන් පිටත් වූ ඔවුහු කිලෝමීටර් සියයකට වඩා වැඩි දුරක් ගමන් කර අලුයම 1 පමණ වන විට මන්නාරම සිලාවතුර ප‍්‍රදේශයට ළඟා වූහ. කතා කරගත් ස්ථානයට පුද්ගලයන් තිදෙනකු පැමිණ සිටි අතර ඔවුන් මෝටර් රථය ද සමග මොල්ලිකුලම ප‍්‍රදේශයට ගමන් කිරීමෙන් අනතුරුව එක් ජාවාරම්කරුවකු, රියැදුරු හා මෝටර් රථය එම ප‍්‍රදේශයේ තබාගෙන අනෙක් ජාවාරම්කරුවන් දෙදෙනා විසින් මැණික් ව්‍යාපාරිකයාගේ ගෝලයා ලෙස පැමිණි පොලිස් නිලධාරී සංජීව මහතා යතුරු පැදියක නංවාගෙන කිලෝමීටර් 3ක් පමණ විල්පත්තුව ඝන කැලැව මැදට මහ රෑ ගමන් කර, මුලින් ඔහුගේ මුදල් පසුම්බිය හා මුළු ශරීරයම පරීක්ෂාවට ලක් කර තිබේ.   


එම ගමනේදී පොලිස් හැඳුනුම්පතක් හෝ ආරක්ෂක අංශයට සම්බන්ධ කිසිදු ලියවිල්ලක් හෝ තමා සන්තකයේ රැගෙන නොයන ලෙසට මෙම පොලිස් නිලධාරියාට පොලිස් අධිකාරිවරයාගෙන් උපදෙස් ලැබී තිබුණි. පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් දුෂ්කර මාර්ගයක කිලෝමීටර් 6ක් පමණ පා ගමනින් ගමන් කර අනතුරුව ඇත් දළ සඟවා තිබෙන අදාළ ස්ථානයට ළඟා වී තිබේ. මේ ගමන අතරතුරේ දී දළ ඇතකු හා වළසකු මෙම කණ්ඩායම ඉදිරියට හමුව ඇති අතර එම සතුන් මග හැර යාමෙන් කිසිදු කරදරයක් සිදුව නොතිබුණි.   


හය දෙනකුගෙන් පමණ සමන්විත මෙම ජාවාරම්කරුවන් පිරිස සියලූ දෙනා මුස්ලිම් හා දෙමළ ජාතිකයන් බව දැනගත් මෙම පොලිස් නිලධාරියා තමන් දන්නා තරමින් ද්‍රවිඩ බස භාවිත කරමින් ජාවාරම්කරුවන් සමග කතා බහ කිරීම හේතුවෙන් ඒ වන විටත් ජාවාරම්කරුවන් සමග යම් තාක් දුරක හිතවත්කමක් ඇති කරගෙන තිබුණි.   


දළ යුගළ සඟවා තිබෙන ස්ථානයේ එක් සාමාජිකයකු රඳවා තිබූ අතර අඩි 2ක් පමණ පස් ඉවත් කර ඉටි කොළවලින් ඔතා තිබුණු දළ යුගලය මැණික් ව්‍යාපාරිකයාගේ ගෝලයා ලෙස රඟ පෑ පොලිස් නිලධාරියාට පෙන්වීමට කටයුතු කර තිබුණි. එවිට එම නිලධාරියා ජාවාරම්කරුවන්ට පවසා ඇත්තේ මෙම දළ යුගලය ව්‍යාජ එකක් ද නැතිනම් දළ ඇතකුගේම ද යන්න තමන්ට තහවුරු කර ගැනීමට අවශ්‍ය බවය. ඒ අනුව තමාගේ හිසකෙස් කීපයක් ගෙන එක් දළයක අගින් රවුමට ගැට ගසා ලයිටරයක ආධාරයෙන් ගිනි දල්වා තිබේ. හිසකෙස් ඇවිළී ගියත් දළ යුගලය ගිනි නොගත් නිසා ඇතකු මරා ලබා ගත් දළ යුගලයක් බවට සියයට සියයක් තහවුරු විය.   


ඉන් අනතුරුව එම පොලිස් නිලධාරියා පවසා ඇත්තේ ගනුුදෙනුව සිදු කිරීමට නම් එහි ඡායාරූපයක් ගෙන ජංගම දුරකතනය ආධාරයෙන් තමාගේ බොස්ට, (මැණික් ව්‍යාපාරිකයාට) යැවිය යුතු බවය. එයට එකඟතාව පළ කළ ජාවාරම්කරුවන් මැණික් ව්‍යාපාරිකයා (පොලිස් අධිකාරිවරයා) ගෝලයා අතර දුරකතන සංවාදයට ඇහුම්කන් දෙමින් ද සිට ඇත. මිල අඩු කර ගැනීම සඳහා කිහිප විටක් එම සංවාදයේ දී උත්සාහ කළත්, ලක්ෂ 50න් රුපියලක් හෝ අඩු කිරීමට නොහැකි බව ප‍්‍රකාශ කළ ජාවාරම්කරුවන්, මෙම දළ යුගලය ලක්ෂ 60කට වෙනත් අයකුට විකිණීමට සුදානම් කර තිබෙන බවත් ඉතා ඉක්මනින් මුදල් කර ගැනීම සඳහා මෙසේ ලක්ෂ 50කට දීමට තීරණය කළ බවත් පවසා තිබුණි.   


මෙම දළ යුගල අඩි 5ක් පමණ දිග නිසා පැමිණි මෝටර් රථයේ රැගෙන යාමට නොහැකි බවත්, රත්නපුරයට පැමිණ වෑන් රථය සමග මුදල් ද රැගෙන යන ලෙසත්, එම ගමන සඳහා සුනිල් නමැති අය යොදා ගන්නා ලෙසත්, මැණික් ව්‍යාපාරිකයා දුරකතන සංවාදයේ දී තමා එවූ ගෝලයාට දන්වා සිටි අතර, තවද 31 දා රාත‍්‍රියේ ප‍්‍රංශය බලා පිටත් වන නැවට මෙම දළ යුගල පටවා ගැනීමට හෙට දිනයේම ගනුදෙනුව සිදුකිරීමට අවශ්‍ය බව මැණික් ව්‍යාපාරිකයා ගෝලයාට දන්වා සිටීම ගැන ඇහුම්කන් දුන් ජාවාරම්කරුවන් එය ඇත්තක් බව විශ්වාස කර තිබුණි.   


රත්නපුර සිට කිලෝමීටර් සිය ගණනක් දුර පැමිණීම අවදානම් සහිත නිසා එම දළ යුගලය කැලයෙන් එළියට ගෙන අතරමග තැනක දී ගනුදෙනුව සිදු කරමු යැයි කතිකා කරගත් පසුව තන්තිරිමලය ප‍්‍රදේශයට දළ යුගලය ගෙන ඒමට එකඟතාව පළ කර තිබිණ. ලක්ෂ 50ක මුදල රැගෙන එන විට නවරත්න මැණික් ගල් කීපයක් ද රැගෙන එන ලෙසද එම ගෝලයාට ජාවාරම්කරුවන් විසින් දන්වා තිබුණේ මැණික් ව්‍යාපාරිකයන් ද යන්න තහවුරු කර ගැනීම සඳහායි. පසුව නැවතත් පැමිණි මෝටර් රථය නවතා තිබූ මොල්ලිකුලම ප‍්‍රදේශයට ගෙනවිත් ඇරලවා තිබේ.   


නවරත්න මැණික් සේ සැකසූ ව්‍යාජ මැණික් ගල් කීපයක් හා ව්‍යාජ ලෙස සැකසූ ලක්ෂ 50 ක් ද රැගෙන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පසුදා සවස තන්තිරිමලය ප‍්‍රදේශයේ මල්වතු ඔය අසලට ගමන් කළේ පෙර කියු පරිදි වෑන් රථයකිනි. එම ගමනට කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සංජීව වන්නිනායක, ජයසුන්දර, හා උද්ධික යන නිලධාරීන් සහභාගී වි සිටියහ. කොට්ඨාස පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා ඇතුළු තවත් කණ්ඩායමක් මඟ රැඳී සිටියහ.   


මල්වතු ඔය පාලම අසල සිටි එක් ජාවාරම්කරුවකු දුරකතනයෙන් කතා කර වෑන් රථය නවතා පෙර දිනයේ පැමිණි අයට පමණක් වාහනයෙන් බැස එන ලෙසත් දන්වා තිබුණි. දළ යුගළ නැවත පරීක්ෂා කිරීම සඳහා මුලින් ලක්ෂ දහයක් රැගෙන පැමිණෙන ලෙසත්, ඉන් අනතුරුව යුගළ වෑන් රථයට පටවන බවත් පවසා තිබේ. ඊට එකඟ නොවූ පොලිස් නිලධාරියා ජාවාරම්කරුට පවසා ඇත්තේ මුදල් රැගෙන පලා යාමට හැකි නිසා වෑන් රථයට දළ යුගළ පැටවූ පසුව ලක්ෂ 50 ලබා දෙන බවය.   


අවසානයේ ජාවාරම්කරුවන් තිදෙනකු විසින් වෑන් රථයට දළ යුගලයක් ඔසවාගෙන රැගෙන පටවන අවස්ථාවේ දී ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ‍්‍රමයක් යොදා ජාවාරම්කරුවන් තම ග‍්‍රහණයට නතු කරගෙන අත්අඩංගුවට ගැනිණ. ඒ වන විට පසුදා පහන් වීමට අසන්නව තිබුණි.   

අත්අඩංගුවට ගත් තිදෙනා   


මෙම ජාවාරම්කරුවන්ගෙන්, ගනුදෙනුව සිදුකිරීමට ගිය පොලිස් නිලධාරීන් හට කිසියම් හෝ අනතුරක් සිදු විය හැකි යැයි සිතා කොට්ඨාස පොලිස් අධිකාරිවරයා විසින් මැදවච්චිය, තන්තිරිමලය හා අනුරාධපුර පොලිසිවලට අනුයුක්ත පොලිස් කණ්ඩායම් තුනක් ඒ අවට ස්ථාන ගත කර තිබුණි.   


මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54, 52 හා 38 පසුවන අතර ඔවුන් මුස්ලිම් මවුලවීවරයකු ඇතුළු දමිළ ජාතිකයන් තිදෙනෙකි. ඔවුහු මරච්චිකට්ටු, සිලාවතුර, පාෙලෙයිකුලම්, එලත්තු මන්නාරම ප‍්‍රදේශවල පදිංචිකරුවෝය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 30 දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 12 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂ කැකුණවෙල මහතා නියෝග කළේය.   


උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි සඳුන්ගහවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා ගේ සෘජු මැදිහත් වීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවරත්න අබේකෝන්, උ.පො.ප. බී.එස්.චන්ද්‍රසිරි, පො.සැ. 16876 සේනානායක, පො.කො. වරුන් වන 48059 දිසානායක, 39938 අසංක වන්නිනායක, 87270 දමිත්, පො.සැ. රියැදුරු 33601 උද්ධික යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.   


මෙම වැටලීම සඳහා මුල සිටම මැණික් නිලධාරියාගේ ගෝලයා ලෙස රඟ පෑ පොලිස් කොස්තාපල් අසංක සංජීව මහතාගේ බිරිඳ වන කාන්තා පොලිස් නිලධාරිනී (5252) සන්ධ්‍යා කුමාරි මහත්මිය ද මුදල් රැගෙන ගිය මැණික් මුදලාලිගේ ගෝලයාගේ ගැබිනි බිරිඳ සහභාගි වී තිබේ. ගැබිනියක වී සිටි ඇය මෙම වැටලීම සිදු කර දින දෙකකට පසුව තම දරු උපත ද සිදු කර තිබුණි. මීට පෙර ද මෙම නිලධාරිනිය ගැබිනියක සේ සිටිය දී අවදානම ද නොතකා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ “මරංචි” ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා සිදු කළ වැටලීම් කිහිපයක දී උපාය දූතියක ලෙස සෘජුව මැදිහත්ව තිබීම විශේෂත්වයකි.

 අනුරාධපුර 
 බී. ජී. චතුරංග - උපාලි ආනන්ද