ලංකාවේ ඡන්දය විදෙස් මාධ්‍ය දුටු හැටි


 

පළාත් පාලන ආයතන 340ක් සඳහා අපේක්ෂකයන් 8325 දෙනකු තෝරා පත් කර ගැනීම පිණිස 2018 පෙබරවාරි 10 වැනිදා පවත්වන ලද පළාත් පාලන මැතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගත්තේය. ඒකාබද්ධ විපක්ෂය වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්තී‍්‍රවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂගේ ආශීර්වාදය ඇතිව පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සලකුණ වූයේ පොහොට්ටුවය. නව පක්ෂයක් පිහිටුවා වැඩි කලක් ගතවන්නටත් පෙර සමස්ත දිවයිනෙන්ම අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබීම ඉතිහාසගත අවස්ථාවක් ලෙස සැලකේ. සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 44.69% හෙවත් ඡන්ද 4,968,762 හිමිකරගත් පොදු ජන පෙරමුණට ආයතන 249ක බලය හිමි වී ඇති අතර තේරී පත් වූ සමස්ත සභික සංඛ්‍යාව 3,369කි. දෙවැනි ස්ථානයට පත් එක්සත් ජාතික පක්ෂයට හිමි වී ඇති ආයතන සංඛ්‍යාව 42කි. ඔවුන් ලද සමස්ත ඡන්ද සංඛ්‍යාව 3,625,510 හෙවත්් 32.61% ප‍්‍රතිශතයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු පෙරමුණ එක්ව ඡන්ද 14,87960ක් හෙවත් 13.37%ක් හිමි කර ගෙන තිබේ.   


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් විදේශ මාධ්‍ය විවිධ මත පළ කර තිබේ.   


රොයිටර් පුවත් සේවය මේ පිළිබඳව වාර්තා කරන ලද්දේ මේ අයුරිනි.   


“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් දැවැන්ත ජයක් හිමිකරගෙන තිබේ. මෙම පළාත් පාලන මැතිවරණය, සිරිසේන ජනාධිපතිවරයාගේ සහ වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ යහපාලන රජයේ පළමු මැතිවරණයයි. රාජපක්ෂගේ පොදු ජන පෙරමුණ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් වෙන් වූ පිරිසකගෙන් සැදුණු පක්ෂයකි. මෙම ප‍්‍රතිඵලය යහපාලන රජය සහ එහි ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය අවතක්සේරුවට ලක් කිරීමක් බඳුය. විරුද්ධ පාක්ෂිකයන්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල කර තිබේ යැ”යි සඳහන් කරන රොයිටර් පුවත් සේවය, රාජපක්ෂ තම දූෂණ චෝදනා වසා ගැනීමේ අරමුණින් පවතින රජය අස්ථාවර කිරීම සඳහා මෙම ප‍්‍රතිඵලය භාවිත කිරීමට උත්සාහ කරනු ඇතැයි රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළ බවත්, තමා විශාල වෙනසක් සිදු කරන බැව් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ යැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළ බවත් සඳහන් කර තිබේ.   


සිරිසේන රජය කෙරෙහි ජනතා විශ්වාසය කඩ වී ඇති හෙයින් රජය ඉල්ලා අස්විය යුතු බැව් දිනේෂ් ගුණවර්ධන සඳහන් කළ බැව් ඔවුන් සඳහන් කර තිබේ. මෙම ප‍්‍රතිඵලය අනුව ආර්ථික ප‍්‍රතිසංස්කරණ හා වෙළෙඳපොළ අවිනිශ්චිත තත්ත්වයක් මතු කරනු ඇතැයි කොටස් වෙළෙඳපොළ නියෝජිතයකු පවසා ඇතැයිද එහි සඳහන්ය.   


මෙම මැතිවරණය පාලක පක්ෂය අවමානයට ලක්කිරීමක් බවත්, හිටපු ජනාධිපති රාජපක්ෂ දැවැන්ත ජයග‍්‍රහණයක් අත්පත් කර ගෙන ඇති බවත්, ඩේලි මේල් පුවත්පත සඳහන් කර තිබිණි. “ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ යළි හිස ඔසවන තම අභියෝගකරුවා වන රාජපක්ෂගේ නව පක්ෂය විසින් අපහසුතාවට පත් කරනු ලැබ සිටිති. මෙම මැතිවරණ ප‍්‍රතිඵලය ශ්‍රී ලංකා දේශපාලනයේ පහළ ස්ථරයට පමණක් බලපෑමක් ඇති කළද, පශ්චාත් යුද සමය තුළ රජය විසින් ඉටු කරන බවට පොරොන්දු වූ එහෙත් ඉටු නොකරන ලද ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව පවතින රජයට කිසියම් තරවටුවක් කර තිබේ යැ”යි එම පුවත්පත සඳහන් කරයි.   


“රාජපක්ෂගේ සහය ලද පක්ෂය ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයෙන් දැවැන්ත ජයග‍්‍රහණයක් අත්පත් කරගෙන ඇතැයි” ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ. “සෙනසුරාදා සවස්වෙන විට කලින් පැවැති ප‍්‍රවණතාව වෙනත් දිසාවකට යොමු වෙමින් පැවතිනි. තරගය ජනාධිපති සිරිසේන, අගමැති වික‍්‍රමසිංහ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහය පළ කළ පොදු ජන පෙරමුණ අතර තුන්කොන් සටනක් ලෙස පැවැතියේය.   


හවුල් රජයේ සාමාජිකයන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් මතු වී තිබූ හෙයින් ඔවුහු වෙන් වෙන් වශයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීන්දු කළහ. මෙවර පළාත් පාලන මැතිවරණය මහ මැතිවරණයක් ලෙසින් උපකල්පනය කෙරිනි. ඉරුදින උදෑසන ප‍්‍රතිඵල නිකුත් කෙරුනු විට සිංහල බහුතරයක් සිටි ප‍්‍රදේශවලින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් සිටියේය. තම ජයග‍්‍රහණය සාමකාමී ලෙස සමරන ලෙස හිටපු ජනාධිපති රාජපක්ෂ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා තිබිණි.   


බහුතර දෙමළ ප‍්‍රජාවක් සිටින උතුරු පළාතේ ජයග‍්‍රහණය හිමි වූයේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය වන දෙමළ සන්ධාන පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු පක්ෂයටය. කොට්ඨාස මට්ටමින් හා සමානුපාතික මට්ටමින් පැවැති පළමු මැතිවරණය මෙය වන අතර 25%ක කාන්තා නියෝජනයක් තිබිය යුතු බවට නියෝග කෙරුණු පළමු මැතිවරණයද මෙය වෙයි” යනුවෙන් හින්දු පුවත් පත සඳහන් කර තිබේ.   


පළාත් පාලන මැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ ජයග‍්‍රහණය කර ඇති බැවින් වහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළ බැව් ඒබීසී නිවුස් මාධ්‍යජාලය වාර්තා කළේය. “ජනතාව ප‍්‍රකාශ කරන්නේ කුමක්දැයි රජය වටහා ගත යුතු බවත්, රජයට තව දුරටත් ජනතා අනුමැතියක් නොමැති හෙයින් තවදුරටත් පාලනය ගෙන යෑමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්” ඔහු පවසන ලදැයි එම මාධ්‍යය වැඩි දුරටත් සඳහන් කර තිබේ.   


ජනාධිපති සිරිසේනගේ රජය 2015දී බලයට පත් වූයේ යහපාලනය ක්‍රියාත්මක කරන බවට ප‍්‍රතිඥා දෙමින් වුවද මහා බැංකු බැඳුම්කර ක්‍රියාවලිය හේතුවෙන් අපකීර්තියට පත් විය. එහි ප‍්‍රඵලයක් ලෙස රජයේ ඇමතිවරයකුට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදු වූ බවද එහි සඳහන්ය.   


පොදු ජන එක්සත් පෙරමුණේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ජාලය සඳහන් කර තිබුණේ “පවතින රජය මහත් සංවේගජනක පරාජයකට මුහුණ දී ඇතැ”යි යනුවෙනි. අගමැති රනිල් වික‍්‍රමසිංහ දෙවැනි ස්ථානයටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුන් වැනි ස්ථානයටත් පත්ව ඇතැයි එම මාධ්‍ය සඳහන් කරයිි. සෙනසුරාදා ලද ප‍්‍රතිඵලය ශ්‍රී ලංකාවේ දේශපාලන විචාරකයන් විස්මයට පත් කළ බවද, පසුගිය මාස කිහිපය තුළ පාලක පක්ෂයේ පැවැති නොහොඳ එම තත්ත්වයට බලපාන්නට ඇතැයිද එහි වැඩි දුරටත් සඳහන් වේ.   


මෙම පළාත් පාලන මැතිවරණය රජයේ ක්‍රියා කලාපය සම්බන්ධ ජනමත විචාරණයක් යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියා තිබේ. “දෙමළ ත‍්‍රස්තවාදය ඉතා සාහසික අයුරින් මුලිනුපුටා දැමූ, මානව හිමිකම් කඩකළ බවට හා දූෂණයට සම්බන්ධ යැයි පැවසෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි එරට දේශපාලන අනාගතය බවට පත් වී තිබේ. මෙම ප‍්‍රතිඵලය මගින් තවත් වසර දෙකක කාලයක් පැවතීමට නියමිත වත්මන් රජය සුළු වශයෙන් දුර්වල වීමට අමතරව මහත් ප‍්‍රතිවිපාකවලට මුහුණ පෑමටද සිදු විය හැකිය.”   
උතුරු නැගෙනහිර හැර අනෙකුත් සියලූ පළාත්වල බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වී ඇතැයි බීබීසී සන්දේශය සඳහන් කර තිබේ. “දේශපාලන විචාරකයන් කිසිවකු අපේක්ෂා නොකළ අයුරින් මෙවර මැතිවරණ ප‍්‍රතිඵලය වෙනස් වී තිබේ. විශේෂයෙන් බලයේ සිටින පක්ෂ දෙකක් පරාජය කිරීමට නව පක්ෂයට හැකි වී තිබේ. 2017දී තමා පවතින රජය පෙරළා දමන බවට හිටපු ජනාධිපතිවරයා 2016 වසරේ අගභාගයේදී ප‍්‍රතිඥාවක් දී තිබිණි.” යනුවෙන් එහි සඳහන්ය.   


ජපානයේ අසාහි ෂිම්බුන් පුවත්පත මෙම මැතිවරණය දුටුවේ මේ අයුරිනි.   


“තුන් වසරකට පෙර බලයට පත් ප‍්‍රතිසංස්කරණවාදී හවුල් රජය පරාජය කරමින් හිටපු ජනාධිපතිවරයාගේ සහය ලද නව පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් ජය ලබා ඇත. 2015 පරාජය කෙරුණු මහින්ද රාජපක්ෂට ජනතා සහයෝගය හිමි ​ෙවන්නට ඇත්තේ රාජ්‍ය දේපොළ විකිණීම සම්බන්ධයෙන් හා සුළු ජාතිය වන දෙමළ ප‍්‍රජාව අතර බලය බෙදා හැරීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට විරෝධය පළ කිරීමක් ලෙසින් යැයි සිතිය හැකිය. වසර 25කට අධික කාලයක් පැවැති යුද්ධය අවසන් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ විසිනි. එහෙයින් ඇතැම් පාක්ෂිකයනට ඔහු ගැලවුම්කාරයකු හා රජෙකි. ජාතියට හා හමුදාවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ද්‍රෝහී වූ බවට රාජපක්ෂ අනුගාමිකයෝ චෝදනා කරති. එමෙන්ම හම්බන්තොට වරාය 99 වසරකට චීනයට බදු දීම සම්බන්ධයෙන්ද ඔවුන් තුළ ඇත්තේ විරෝධයකි. රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු නොවේ. එහෙත් ජනතාවගේ පිළිගැනීම වනුයේ ඔහු එම පක්ෂයේ නායකයා ලෙසිනි. පූර්ව මැතිවරණ සමයේ එම පක්ෂයේ ප‍්‍රධාන දේශකයා වූයේ ඔහුය.”   


එන්ඩීටීවී, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, ෆොක්ස් නිව්ස්, වොෂින්ටන් පෝස්ට් වැනි මාධ්‍යවලද මෙම ජයග‍්‍රහණය පිළිබඳව වාර්තා කර තිබිණි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා