ලංකාවත් කොරෝනා එන්නත් පොරොත්තු ලේඛනයේ


(දයාසීලි ලියනගේ)  

කොරෝනා වසංගතය මැඩලීම සඳහා එන්නත් ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පොරොත්තු ලේඛනයක් පවත්වා ගෙන යන අතර ශ්‍රී ලංකාව ද එම පොරොත්තු ලේඛනයට ඇතුළත් කර ඇත.  

මේ වෙනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එන්නත් 4ක් සඳහා අනුමැතිය ලබා දී ඇති අතර මෙම එන්නත් තවමත් ලක්ෂ 20 කට ලබා දෙමින් ප්‍රතිදේහ නිෂ්පාදනය වෙන ආකාරය අධ්‍යයනය කරමින් සිටින බව එන්නත් ගෙන ඒම සම්බන්ධයෙන් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන ජනාධිපති කාර්ය සාධන බළකායේ සාමාජික විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කීය.  


ආසියාතික රටවලට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා අදාළ එන්නත් ආයතන මගින් ඒවා නිෂ්පාදනය කිරීමට ඉන්දියාවට බාර දී තිබෙන අතර ඒ නිසා ශ්‍රී ලංකාවට පහසුවෙන් ලබාගැනීමට හැකියාව ඇති බව ද වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.  


ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත එන්නත ලැබුණු වහාම ඒවා ලබාදීම සම්බන්ධ නිර්නායකයන් සකස් කිරීමේ තාක්ෂණ කමිටු දැනටමත් රැස්වෙමින් පවතින බව ද ඔහු කීය.