ලංකාවට රැගෙන ආ මධුෂ්ගේ ඉරණම


පාතාල ලෝකයේ ප්‍රබලතම නායකයෙකු ලෙස සැලකෙන සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් තමාව මෙරටට පිටුවහල් නොකරන ලෙස ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනය විභාගයට නොගෙනම ඉවත දමනු ලැබීය.   


මාකඳුරේ මධුෂ්ගේ අවසන් බලාපොරොත්තුව වී තිබුණේ ද එම අධිකරණ තීන්දුවය. බලාපොරොත්තුව සුනුවිසුණු වී ගියේ අධිකරණ තීන්දුවත් සමගය.   


මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට හා ඒ වෙනුවෙන් පෙනී සිටීමට විදෙස් රටවල සුප්‍රසිද්ධ නීතිවේදීන් ගණනාවකගේ සහාය ඔහු ලබාගෙන ඇත.   


ඒ වෙනුවෙන් මධුෂ් ලංකාවේ මුදලින් කෝටි ගණනක් වියදම් කර ඇති බව ද පැවසේ.   


මධුෂ්ව මෙරටට ගෙන එනු ලැබුවේ ඉන්පසුවය.   


විවිධ පාර්ශ්වවලින් තමාගේ ජීවිතයට තර්ජන තිබෙන නිසා ලංකාවට පිටුවහල් කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා මධුෂ් මේ අභියාචනය ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.   


මෙරට සිටින විවාහක බිරියගේ දරුවා සහ අනියම් බිරියට මධුෂ්ට ද‌ාව උපන් දියණිය හා අනියම් බිරිය පමණක් අද වැලිකතරේ තනි වී සිටිති.   


විවාහක බිරියට මධුෂ්ට ද‌ාව උපන් දරුවා ඩුබායි වෙත ගෙන්වා ගෙන තිබුණේ එම දරුවාට ඇතිව තිබූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා දීමටය.   


මධුෂ්ගේ විවාහක බිරිය ඉන්දියාවට ගොස් ඒ දරුවා බාර දීමෙන් පසු ඔහු දරුවා කැටිව ඩුබායි බලා ගොස් ඇත.  


මධුෂ් එරට පොලිසියට කොටුවන්නේ ඩුබායි හි තරු හයේ සුපිරිතම හෝටලයක ඉකුත් පෙබරවාරි මාසයේ 5 වැනිදා පැවැති උපන් දින සාදයක දීය.  


ඒ සාදය පැවැත්වුණේ අනියම් බිරියට මධුෂ්ට ද‌ාව උපන් දියණියගේ දෙවැනි උපන් දිනය වෙනුවෙනි.  


මධුෂ්ගේ දෙවැනි බිරිය වූයේ ඉෂාරා දිලිනිය.  


පාතාල ලෝකයේ ප්‍රබලයකුව සිටි කළු තුෂාර ගේ විවාහක බිරිය වූ දිලිනි මධුෂ්ගේ අනියම් බිරිය බවට පත්වන්නේ සිය සැමියා 2012 වසරේ නොවැම්බර් මාසයේ 09 වැනිද‌ා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ කැරැල්ලකින් මිය යාමෙන් පසුවය.  


දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි ඩැනී හිත්තැටියගේ මහතාගේ ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසු වූ මධුෂ් කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයට ගනු ලබන්නේ අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවය.  


ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට යොද‌ා තිබූ සැලැස්මක් ගැන ප්‍රශ්න කිරීමටය.  
රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිය දී මධුෂ් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයට ගනු ලැබුවේ එවකට ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානයෙන් අවි ආයුධ ලබාගෙන හිටපු ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලැස්මක් තිබූ බවට තොරතුරු ලැබීම නිසාය.  


ගිනි අවි දෙකක් ද මෙම පරික්ෂණ අවසානයේ මධුෂ්ගෙන් හෙළිකර ගත් තොරතුරු මත සොයා ගැනීමට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට හැකි වී තිබිණි.  


කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශය බාරව එවකට සිටි වර්තමානයේ මාන්කුලම් පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීම යටතේ මෙම පරික්ෂණ සිදුකර ඇත.  


වසර 1 1/2 ක පමණ කාලයක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ රැඳවුම් නියෝග යටතේ සිටින මධුෂ් රිමාන්ඩ් බන්ධනාගාර ගතවී තිබේ.  
අධිකරණයෙන් මධුෂ් ඇප ලබන්නේ 2014 වසරේ දීය.  


ඇප ලබා පිටව ගිය මධුෂ් වැඩි කාලයක් ගත වීමට මත්තෙන් හොර රහසේ ඩුබායි රටට පලා යන්නේ වෙනත් නමකින් පෙනී සිටිමින් ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකිනි.  
සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත කියන සැබෑ නම වෙනුවට ඔහුගේ ඒ හොර විදෙස් ගමන් බලපත්‍රයේ නම ලෙස සඳහන් වූයේ වර්ණකුලසූරිය අජිත් එරංග යන නමය.  
ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයේ අංකය N 5480656 විය.


ජාතික හැඳුනුම්පතේ අංකය ලෙස සඳහන්ව ඇත්තේ 790516478 යනුවෙනි.  


පදිංචිය ගම්පහ ලෙස ද සඳහන්ව ඇති එම විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් 2015 අප්‍රේල් මාසයේ 30 වැනිද‌ා ද‌ාතමින් නිකුත් කර තිබූ එම ගමන් බලපත්‍රය 2025 අප්‍රේල් 30 වැනිද‌ා දක්වා වලංගු එකක් විය.  


මාකඳුරේ මධුෂ් ඩුබායි රටට පලා යන්නේ එම හොර විදෙස් ගමන් බලපත්‍රය උපයෝගී කර ගනිමිනි.  


කළු තුෂාරගේ බිරිය දිලිනිව අනියම් බිරිය වශයෙන් තබා ගැනීමට ඩුබායිවලට ගෙන්වා ගත්තේ පසු කාලයකය.  


ඩුබායි රටට පලා ගියත් මධුෂ් මෙරට සිටි කාලයේ මෙහෙය වූ පාතාල ක්‍රියාකාරකම් එකක්වත් අතහැරියේ නැත.  


මාකඳුරේ මධුෂ් ඩුබායි සිට කුමාර ජීවිතයක් ගත කරමින් සිය ගෝල බාලයන්ට දුරකථනයෙන් කතා කරමින් පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවා ඇත.  


හෙරොයින් මත්කුඩු තොග වශයෙන් පාකිස්තානයෙන් වරින් වර මිල දී ගෙන එම කුඩු තොග පිටින් මෙරටට එවීම ඔහු කරගෙන ගොස් ඇති බව කියති.  


පොලිසිය පවසනුයේ පසුගිය කාලයේ වරින් වර මෙරටින් සොයාගත් හෙරොයින් කුඩු මහා තොග අතරින් සමහරක් තොග මධුෂ් මෙරටට එවීමට සැලැස්වූ ඒවාය.  


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු පිළියන්දල ප්‍රදේශයේ දී ඝාතනය කර පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව මහතාට බරපතළ තුවාල සිදුකිරීම, කළුතර එතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු පාතාල සාමාජිකයන් හා බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීම, කොස් මල්ලී නමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කර හිස කොටස අලුත්කඩේ උසාවිය අසලට ගෙනැවිත් දැමීම, රුපියල් කෝටි 700ක් පමණ වටිනා නිල් දියමන්තියක් කොල්ලකෑම මාකඳුරේ මධුෂ්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා රැසකින් කිහිපයකි.  


මාකඳුරේ මධුෂ් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පසුවන කාලයේ ඔහු සම්බන්ධව පරික්ෂණ පැවැත්වීමට සෘජු ද‌ායකත්වයක් ලබා දුන් පොලිස් සැරයන් ද‌ාස් ගුප්තා මහතාට ද මරණීය තර්ජන එල්ල කර ඇත්තේ ඩුබායි රටේ සිට ය.  


මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයන්ත පෙරේරා මහතා මධුෂ්ගේ ගෝල බාලයන් ගණනාවක්ම අවි ආයුධ හා බෝම්බ ද සමග අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරියෙක් විය.  


උප පොලිස් පරික්ෂක ජයන්ත පෙරේරා මහතාගෙන් හරි කරදර බවත් ඔහු දිගට හරහට අපේ අය අල්ලනවා කියා මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෝ ඔහුට කතා කර දැනුම් දී ඇත.  
ඩුබායි සිට මාකඳුරේ මධුෂ් ජයන්ත පෙරේරා මහතාට දුරකතනයෙන් කතා කර මරණ තර්ජන එල්ල කළේ තමන්ගේ ගෝලයන්ව අල්ලන එක නතර කරන ලෙසටය.  
මාකඳුරේ මධුෂ්ගේ තර්ජන ගර්ජනවලට බිය වී ජයන්ත පෙරේරා ඔහු කරගෙන ආ වැඩ කටයුතු නතර කළේ නම් නොමැත. ඒවා තවත් වේගවත් වී ඇත.  
මාකඳුරේ මධුෂ් මුහුණු පොත හරහා හඳුනාගත් ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියක සමග කොල්ලුපිටියේ හෝටලයක රාත්‍රිය ගත කළ බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී තොරතුරු හෙළි වූයේ 2016 අප්‍රේල් මාසයේය.  


ඔහුගේ දියණිය ගේ දෙවැනි උපන් දින සාදය ඉකුත් පෙබරවාරි මාසයේ 04 වැනිද‌ා රාත්‍රියේ සිට පසුද‌ා (05) අලුයම දක්වා ජයටම පවත්වා තිබේ.  


මෙම සාදය සඳහා මාකඳුරේ මධුෂ්ගේ ආරාධනයෙන් එහි ගිය බව කියන ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් යොවුන් ගායක නදිමාල් පෙරේරා, රංගන ශිල්පියකු වන රයන් වැන්රෝයන් ප්‍රබල පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් බව කියන පුද්ගලයන් හා බන්ධනාගාර නිලධාරින් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු මාකඳුරේ මධුෂ් සමග එම සාදයට සහභාගි වී සිටිය දී ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.  


මාකඳුරේ මධුෂ් හැරෙන්නට සෙසු 30 දෙනා වරින් වර මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඔවුන් කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලිස් අත්අඩංගුවට ගෙන වැඩි දෙනෙක් ප්‍රශ්න කර මුද‌‌ා හැරුණු අතර තවත් කිහිප දෙනෙක් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.  


මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයා බවට පැවසෙන මොහොමඩ් නජිබ් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැති පාතාල නායකයා මෙරටට පිටුවහල් කිරීමෙන් පසු පසුගිය අප්‍රේල් මාසයේ 30 වැනිද‌ා මෙරටට පිටුවහල් කිරීමෙන් පසු දින 90ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.  


විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු පිරිසක් පසුගිය මාසයේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට ගොස් මධුෂ් අපරාධ රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය පුද්ගලයකු නිසා ඔහු පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියහ.  


ශ්‍රී ලංකාවේ ඉල්ලීම ඉටුකරමින් එරට බලධාරින් මධුෂ් නමැත්තා මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර ඇත.  


ඩුබායි හි තරු පන්ති හෝටලයේ පැවැති උපන් දින සාදයට මධුෂ් තම අනියම් බිරිය හා දියණිය ද කැටිව පැමිණ තිබුණේ එරට වෙන්දේසියකින් මිලදී ගත් ෂෙයික්වරයකුට අයත් අධි සුඛෝපභෝගී මෝටර් රථයකිනි.  


රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු රහස් පොලිස් කණ්ඩායමක් ඩුබායි රටට ගියේ මාකඳුරේ මධුෂ් රැගෙන ඒමටය.  
ඩුබායි පොලිසිය විසින් මධුෂ් එරටේ ආගමන විගමන නිලධාරීන්ට බාර දීමෙන් පසු ශ්‍රී ලංකා රහස් පොලිස් කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් පසුගිය 05 වැනිද‌ා අලුයම මෙරටට ගෙන එනු ලැබීය.  


කටුනායක ගුවන් තොටුපොළේ සිට මධුෂ්ව රහස් පොලිස් මූලස්ථානය වෙත රැගෙන එනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි රැකවල් මැද්දේය.  


වැඩිදුර පරික්ෂණ සඳහා මධුෂ්ට දින 90ක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන ඇත.  


මාකඳුරේ මධුෂ් මෙරට සිටිය දී හා ඩුබායි රටේ සිටින කාලයේ කළ අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන බොහෝ කරුණු කාරණා ඉදිරියේ දී හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි රහස් පොලිසිය විශ්වාසය පළ කරයි.

 

 

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය