ලංකාදීප මාධ්‍යවේදිනියට අවමන් කළ පොලිස් නිලධාරියාට එරෙහි පරීක්ෂණ ඇරඹේ


දිනපතා ලංකාදීප පුවත්පතේ අධිකරණ මාධ්‍යවේදිනී නිමන්ති රණසිංහ මහත්මියට අවමන් සහගත ලෙස සැලකූ බව කියන මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීම මත මෙම පරීක්ෂණ සිදුකෙරේ. 


අද‌ාළ පොලිස් ස්ථානාධිපතිවරයා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 


 මේ අතර නිමන්ති රණසිංහ මහත්මියට පාතාලයෙන් එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය මගින් පරීක්ෂණයක් පවත්වනු ලබයි. 


 මීට අමතරව රාජ්‍ය බුද්ධි සේවාව හා රහස් පොලිසියේ විමර්ශන අංශය මගින්ද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානයෙන් වාර්තා වේ.