රෝගීන් වැඩි වුණත් රට වසා නොදමන තීන්දුවක්


(අජන්ත කුමාර අගලකඩ)  

රට තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුව ඇතත් මේ මොහොත් රට වසා තැබීමේ ක්‍රියාමාර්ගයකට නොයාමට රජය තීරණය කර ඇත.  

කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීම හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (23) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.  


කොවිඩ් තුන්වැනි රැල්ලක අවදානමක් මතුව ඇති බැවින් රටපුරා මාසයක පමණ කාලයක් සංචරණ සීමා පනවන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර තිබිණි. එහෙත් රට වසා තැබීමේ හෝ රට පුරා සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් දැනට මතුව නැතැයි ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.  
කොරෝනා රෝගීන් බහුලව හමුවන ප්‍රදේශවලට පමණක් අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට එහිදී උපදෙස් දී ඇත.  


කොවිඩ් පාලනය සඳහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බැවින් ඒ පිළිබඳව ජනතාව වහාම දැනුවත් කරන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත.  මේ අතර රටපුරා වේගයෙන් පැතිර යමින් තිබෙන නව කොවිඩ් වයිරස ප්‍රභේදය කුමක්දැයි තවම හඳුනාගෙන නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අප කළ විමසුමක දී ප්‍රකාශ කළාය.  


මෙම නව ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරිය කීවාය.