රෝග ලක්ෂණ මතු​ෙවන්න පෙර සිටම කොරෝනා ව්‍යාප්ත වෙනවා


- මහාචාර්ය මලික් පීරිස්  

(උපුල් වික්‍රමසිංහ)  

කෝවිඩ් - 19 ආසාදිතයන්ගේ වයිරස ව්‍යාප්තිය සලකා බැලීමේ දී සියයට 40ක පමණ ප්‍රතිශතයක් රෝග ලක්ෂණ මතු වීමට දින දෙක තුනකට පෙරත් තවත් සියයට 50ක පමණ ප්‍රතිශතයක් රෝග ලක්ෂණ මතු වී දින හතරක කාලයක් ඇතුළතත් ව්‍යාප්තවීම සිදුවන්නේ යැයි ලොව සුප්‍රකට වයිරස් විද්‍යා විශේෂඥයකු වන හොංකොං විශ්වවිද්‍යාලයේ වයිරස් විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය මලික් පීරිස් මහතා ඉරිදා ලංකාදීපය සමග සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.  

ඒ මහතා පෙන්වා දෙන්නේ වර්ෂ 2003 දී පැතිර ගිය සාර්ස් වයිරසය ආසාදනය වූවන්ගෙන් රෝග ලක්ෂණ මතුවීමට පෙර එම වයිරසය අන් අයට පැතිර නොගිය බවය.  


සාර්ස් වයිරසය ආසාදනය වූවන්ගෙන් සියයට 95 ක පමණ පිරිසකගේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ නමුත් කෝවිඩ් - 19 වයිරසය ආසාදිත පුද්ගලයන් බහුතරයකගේ රෝග ලක්ෂණ නොපෙන්වන බව සඳහන් කළ ඒ මහතා රෝග ලක්ෂණ නොපෙන්වුවද ඔවුන්ගෙන් අන් අයට වයිරසය ව්‍යාප්ත වීමේ ඉහළ හැකියාවක් තිබෙන බව ද කීවේය.  


කෝවිඩ් - 19 වයිරසය ආසාදනය වී දින හත අටක් ඉක්ම ගිය පසු වයිරසය අන් අයට ව්‍යාප්ත වීමේ හැකියාව බෙහෙවින් දුර්වල මට්ටමක පවතින බවට වයිරසය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් වැඩිදුරටත් අනාවරණය වූ බව ද පීරිස් මහතා ප්‍රකාශ ​ කළේය.