රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන් නිවසේම නිරෝධායනයට


සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

 

  • මාර්ගෝපදේශමාලාව හදන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට නියම කළා

(අජන්ත කුමාර අගලකඩ) 

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන් රෝහල්ගත නොකර ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. 


 මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට උපදෙස් දුන් බව සෞඛ්‍ය ඇමැති වන්නිආරච්චි මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවසුවාය. 

රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 70%කට පමණ රෝග ලක්ෂණ නොපෙන්වන බව කී ඇමැතිවරිය රෝග ලක්ෂණ පෙන්වන්නේ සියයට තිහක් පමණක් බව සඳහන් කළාය. 


 කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 18,000ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව කී වන්නිආරච්චි මහත්මිය ඉන් දොළොස් දහසකට පමණ රෝග ලක්ෂණ නොපෙන්වන බව ද කීවාය. 
 ඒ අනුව නිවෙස්වල වෙනම කාමර සහ සනීපාරක්ෂක පහසුකම් තිබෙන්නේ නම්, රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා රෝගීන් ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනය කිරීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළාය. 


 රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් රෝහල්වල තබාගනිමින් වඩාත් හොඳින් රැක බලා ගැනීමට එමඟින් අවස්ථාව ලැබෙන බව ද ඇය කීවාය.