රේගුවේ වර්ජනයෙන් බිලියන 5 ක පාඩුවක්


(පුෂ්පා වීරසේකර)  

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමේ සිට ඇය නැවත සේවයේ පිහිටුවීම දක්වා වූ සතියක කාලයේ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් රුපියල් බිලියන පහක් රජයට අහිමි වී ඇතැයි ඉරිද‌ා ලංකාදීපයට වාර්තා වේ.  

දිනකට කන්ටේනර් 1500ක් පමණ නිශ්කාශනය කළ යුතු වුවත් වර්ජනය පැවැති සමයේ දී දිනකට කන්ටේනර් 150ක් තරම් වන සුළු ප්‍රමාණයක් නිදහස් කර තිබේ.  


මේ නිසා ඉක්මනින් නරක් වන ආහාර ද්‍රව්‍ය හා ශීතාගාර භාණ්ඩ හැර සෙසු දෑ වරායේ හා කන්ටේනර් පර්යන්තවල කන්ටේනර් 6000ක් පමණ ගොඩ ගැසී තිබුණි. වරායේ පමණක් කන්ටේනර් 2000ක් පමණ රඳවා තිබුණි. 


මේ හේතුව නිසා විදෙස් රටවල නැව් සමාගම්වලට ඩොලර් 10,000 සිට 50,000 දක්වා වූ ප්‍රමාද ගාස්තු ගෙවීමට ද එම නැව්වලින් භාණ්ඩ ගෙන්වූ ව්‍යාපාරිකයන්ට සිදුව තිබේ. මේ සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ වර්ජනය පැවැති දිනවල රුපියල් බිලියන පහක පාඩුවක් සිදුව ඇති බවකි.  
සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ගුණතිලක ජයකොඩි මහතා ප්‍රකාශ කළේ රජයට ඒසා පාඩුවක් සිදුවුවත් ව්‍යාපාරිකයන්ට හා සාමාන්‍ය ජනතාවටත්, ආනයනකරුවන්ට සිදුවූ පාඩුවත් නිශ්චිතව ගණනය කළ නොහැකි බවකි.