රුපියලේ අගය පහත වැටීමට බාහිර සාධක බලපෑවා


මහ බැංකු අධිපති

 

(ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

බාහිර සාධක රැසක බලපෑම මත ශ්‍රී ලංකා රුපියල  දැඩි පීඩනයකට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා පැවැති සයිබර් ආරක්ෂාව පිළිබඳ 6 වැනි සමුළුව අමතමින්  ප්‍රකාශ කළේය. 

වත්මන් තත්ත්වය එසේ පැවතියද නොබෝ දිනකින් එය පාලනය කරගත හැකි බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.


රුපියලේ අගය පහත වැටීම සඳහා  ප්‍රධාන වශයෙන් බාහිර සාධක තුනක් බලපෑ අතර ඇමෙරිකා එක්සත් ජනපදය තම පොලී අනුපාත ස්ථාවර මට්ටමක තබා ගැනීම ඉන් ප්‍රධාන සාධකයකි. පොලී අනුපාතික අවම වීම මත ඇමෙරිකාවෙන් බැහැර විදේශ වෙළෙඳපොළේ ආයෝජනය කළ ව්‍යාපාරිකයෝ යළි ඇමෙරිකාවේ ආයෝජනය කිරීමට පෙළඹී සිටිති.


දෙවැනි සාධකය ඇමෙරිකා එක්සත් ජනපදය හා චීනය පවතින වෙළෙඳ යුද්ධයයි. තෙවැනි සාධකය ඇමෙරිකාව හා ඉරානය අතරත්, මැපෙරදිග අතරත් පවතින ආතතියයි. මෙම තත්ත්වය හමුවේ තෙල් මිල ඉහළ ගිය අතර එය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් බලපා තිබේ.


2011/2012 සමයේ ශ්‍රී ලංකා මහ බැංකුව රුපියලේ අගය පහත වැටීම වළක්වා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 වැය කළද එහි අගය 13.5%දක්වා පහත වැටිණි. 2015දී ඩොලර් බිලියන 1.2ක් වැය කළද රුපියලේ අගය 9% දක්වා පහත වැටීම වළක්වා ගත නොහැකි විය.  විනිමය අනුපාතික ස්ථාවරව තබා ගැනීම සඳහා යළි ඒ අයුරින් විශාල මුදලක් වැය කිරීම සුදුසු නැතැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.


ශ්‍රී ලංකා මහ බැංකුව රුපියලේ අගය ස්ථාවරව තබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.