රුපියල් පනහ නොදුන්නොත් මනෝ-දිගම්බරම් ආණ්ඩුවෙන් එළියට


(අජන්ත කුමාර අගලකඩ)  

වතුකම්කරුවන්ට රජයෙන් දීමට පොරොන්දු වූ රුපියල් 50ක වැටුප් වැඩිවීම ලබාදීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම්, ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බවට ඇමැතිවරුන් වන මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන් ආණ්ඩුවට අනතුරු අඟවා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

ෙමම මුදල නොගෙවීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විවේචනයක් එල්ල කර ඇති බවද එම ආරංචි මාර්ග කියයි. වැටුප් වැඩි කරන ලෙස වතුකම්කරුවන් ගෙන ගිය සටනේදී, ඔවුන්ට වතු සමාගම්වලින් දෙන වැටුප් වැඩිවීමට අමතරව රුපියල් 50ක වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය පොරොන්දු වූ බවත්, එය අප්‍රේල් මාසයේ සිට ගෙවීමට පොරොන්දු වුවද, මෙතෙක් එය ලබාදී නැති බවත් එම ඇමැතිවරුන් දෙදෙනා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා විය.  


මේ තත්ත්වය තුළ තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඔවුන් දෙදෙනා එහිදී සඳහන් කර ඇතැයි දැනගන්නට තිබේ.