රිෂාද්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ්‍රීලනිපය තවම තීන්දුවක් නෑ


(අජන්ත කුමාර අගලකඩ)  

ඇමැති රිෂාද් බදියුදින් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.  

මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දි අමරවීර මහතා සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්නේද නැද්ද යන්න ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගද සාකච්ඡා කර පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගන්නා බවය.  


රිෂාද් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව එජාපය පත්කළ මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද ඇතුළුව 60 දෙනකු පමණ අත්සන් කර ඇත.  


මේ අතර රිෂාද් බදියුදින් ඇමැතිවරයාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්නේ දැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි යෝජනාවක් තමන්ට ලැබී නැති නිසා ඒ සඳහා තීරණයක් ගෙන නොමැති බවය.  
රිෂාද් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇතැයි කියන විශ්වාසභංග යේජනාවක් ගැන තමන් දැක නැති බවත් දැක නැති යෝජනාවක් ගැන කිසිවක් කිව නොහැකි බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.