රියැදුරු බලපත් සැකසූ සමාගමට රුපියල් මිලියන 56 ද‌ාහක් ගෙවලා


මෙරට ලක්ෂ 85 ක වාහන තොරතුරු දෙපාර්තමේන්තුවේ නැහැ

(දයාසීලි ලියනගේ)  

 රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, තොරතුරු ජාලගත කිරීම්, ජාල සැකසීම යනාදී කටයුතු සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසර 10 ක කාලයක් තුළ පෞද්ගලික ආයතනයකට රුපියල් මිලියන 56306 ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.  

රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් 1300 ක මුදලක් අය කරනු ලබන අතර එයින් රජයට ලබන ආද‌ායම සියයට 15 ක් බව සඳහන් වේ. මෙරට ලක්ෂ 85ක් වාහන ලියාපදිංචි වී ඇති අතර මේ වාහන සම්බන්ධ සියලු දත්ත මෙම පෞද්ගලික ආයතනය සතු වෙන අතර මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ කිසිම තොරතුරක් නොමැති බව ද දැනගන්නට ඇත.  


 මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ ඉහල නිලධාරියකුගේ නිර්දේශ මත මෙම පෞද්ගලික ආයතනය සමඟ ගිවිසුම් ගත වී සිටින අතර මෝටර් රථ බලපත්‍රය නිකුත් කිරීම ඇතුළු දත්ත තොරතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිලධාරිවරයෙක් පුහුණු කර නැති බව ද සඳහන් වේ.  


 මෙතරම් විශාල මුදලක් පෞද්ගලික අංශයට ගෙවීම නතර කර එම මුදල් ආයතනයේ රඳවා ගැනීමට මෙතෙක් කිසිම වැඩපිළිවෙළක් සැකසී නැති බව ද දැනගන්නට ඇත.  මේ මුදල් නාස්තිය පිළිබඳව සොයා බැලීමට විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.