රැකියා නැති සංඛ්‍යාව ලක්ෂ හතරට ළං වෙයි


 

(උපුල් වික්‍රමසිංහ)  

මේ වසරේ පළමු කාර්තුව අවසන් වෙන විට ශ්‍රී ලංකාවේ සමස්ත රැකියා වියුක්ත ජනගහණය තුන්ලක්ෂ අනූනව දහස් හත්සිය අසූ හතරක් (399784) වන බවත් ප්‍රතිශතයක් ලෙස එය සියයට 4.7 ක මට්ටමක පවතින බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

ඉකුත් 2018 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ සියයට 4.5 ක් වූ රැකියා විරහිත ජනගහණ ප්‍රතිශතය හා සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී එම අගය දශමස්ථාන දෙකකින් ඉහළ ගොස් ඇතැයි ද ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය පිළිබඳ එම දෙපාර්තමේන්තුව සිදුකර තිබෙන සමීකරණයකින් තොරතුරු හෙළිවෙයි. එම සමීක්ෂණ වාර්තාවන් වැඩිදුරටත් හෙළිදරව් කරන තොරතුරුවලට අනුව මේ වසරේ පළමු කාර්තුවට අද‌ාළ කාන්තා රැකියා වියුක්ත ජනගහණ ප්‍රතිශතය සියයට 6.9 ක අගයක් ගන්නා අතර පිරිමි රැකියා වියුක්ත අනුපාතය සියයට 3.4 කි. සෑම වයස් කාණ්ඩයකටම අද‌ාළව කාන්තා රැකියා වියුක්ත අනුපාතය පිරිමි රැකියා වියුක්ත අනුපාතයට වඩා ඉහළ අගයක් ගන්නා බව ද එම වාර්තාව පෙන්වා දෙයි.  


ඉහළම රැකියා වියුක්ත ප්‍රතිශතයක් වාර්තා කරන වයස් කාණ්ඩය ලෙස එම වාර්තාවෙන් හඳුන්වා දී තිබෙන්නේ වයස අවුරුදු 15 - 24 අතර වයස් කාණ්ඩයයි. එම වයස් කාණ්ඩය නියෝජනය කරන රැකියා වියුක්ත තරුණ පිරිස දෙලක්ෂ අටදහස් එකසිය හතක් (208107) වන අතර ප්‍රතිශතය සියයට 21.6 කි.