රාජ්‍ය ඇමැති බහුතරයක්ම කලකිරිලා


වගකීම් පවරා ඇත්තේ   ඇමැතිවරුන් හතරදෙනයි  

(අජන්ත කුමාර අගලකඩ)  

කැබිනට් ඇමැතිවරුන් වැඩි දෙනෙකු සිය අමාත්‍යංශ යටතේ ඇති ආයතන හා කාර්යයන් රාජ්‍ය ඇමැතිවරුන්ට මෙතෙක් පවරා නොදීමෙන් රාජ්‍ය ඇමැතිවරුන් බහුතරයක් කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ.  


කැබිනට් ඇමැතිවරුන් 15 දෙනාගෙන් රාජ්‍ය ඇමැතිවරුන්ට පෙරේද‌ා (10) ​ෙවන විට ආයතන හා විෂයයන් ගැසට් නිවේදන මගින් පවරා දී තිබුණේ ඇමැතිවරුන් සිව්දෙනෙකු විසින් පමණක් බව ද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  

අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, ඩලස් අලහප්පෙරුම හා ප්‍රසන්න රණතුංග යන ඇමැතිවරුන් දෙදෙනාත් පමණක් ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට ආයතන හා විෂය පථයන් ගැසට් මගින් පවරා දී තිබූ අතර පෙරේදා තවත් ඇමැතිවරයෙක් එසේ සිය විෂයයන් පවරා ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.  


 වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනකු සිටින අතර ඉන් රාජ්‍ය ඇමැතිවරුන් 8 දෙනෙකුට හැර අනෙක් 30 දෙනාට ආයතන හා විෂයන් ගැසට් නිවේදන මගින් මෙතෙක් පවරා දී නැති බව ද එම ආරංචිමාර්ග කියයි.  


 රාජ්‍ය ඇමැතිවරුන්ට ආයතන හා විෂයන් ගැසට් නිවේදනයකින් පවරා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් දෙසැම්බර් මස 12 වැනිද‌ා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණු අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ඉකුත් මස 23 වැනිද‌ා විශේෂ ලිපියක් මගින් යවනු ලැබීය.