රාජ්‍ය ඇමැති ධුර හයකට ජනපතිට නම් යවයි


සරත් ෆොන්සේකාටත් රාජ්‍ය ඇමැතිකමක්

(අජන්ත කුමාර අගලකඩ)  

තවත් රාජ්‍ය අමාත්‍යධුර හයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න, පියසේන ගමගේ, විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන්ගේද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ​ෙෆාන්සේකා, පාලිත රංගෙ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේද නම් රාජ්‍ය අමාත්‍යධුර සඳහා නම්කර යවා ඇති බව වාර්තාවේ.  
එම නම් හය එජාපය මගින් ඉකුත් අඟහරුවාදා ජනාධිපතිවරයාට යවා ඇතැයි වාර්තාවේ.  


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික රජයක් නොවන අවස්ථාවලදී කැබිනට් අමාත්‍යධුර ගණන 30 කට සීමා වන අතර කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන 40 කට සීමාවේ.  


කැබිනට් නොවන රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 30 දෙනකු පමණ දැනටමත් දිවුරුම් දී ඇති අතර ඉතිරි ප්‍රමාණය සඳහා මෙම නම් 6 යවා ඇති බව වාර්තාවේ.  
එසේ වුවද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් තවමත් ප්‍රතිචාරයක් ලැබී නැති බවද සඳහන් වේ.