රාජ්‍ය ආයතන කටයුතු අවම සේවක පිරිසකගෙන්


(දයාසීලි ලියනගේ)  

පිරිස් වශයෙන් රාජකාරියේ යෙදෙන සියලු රාජ්‍ය ආයතනවල රාජකාරී කටයුතු මින් ඉදිරියට කුඩා කණ්ඩායම් වශයෙන් සිදු කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.  

වැලිසර නාවික හමුද‌ා කඳවුරේ හා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ව්‍යාප්තිය සිදු වූ ආකාරයට වෙනත් කිසිම ආයතනයක කොරෝනා ව්‍යාප්තියක් සිදුවීම වැළැක්වීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කරනු ලැබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.  


වැලිසර නාවික හමුද‌ා කඳවුරේ හා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඇති වී තිබු අඩුපාඩු ඉදිරියට ඇති නොවීමටත් මෙම සිදුවීම් අත් දැකීමක් ලෙස සලකා බලමින් කටයුතු කළ යුතුව ඇති බවත් රජයට පෙන්වා දුන් බව වෛද්‍ය අලුත්​ගේ මහතා ප්‍රකාශ කළේය. 

 
මේ අතර කෝවිඩ් - 19 ආසා‌දිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදු වී ඇති වත්මන් වාතාවරණය හමුවේ වයිරසයේ ව්‍යප්තිය පාලනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.