රාජකාරි සඳහා රට විවෘත කළත් එදිනෙදා ජීවිතයට සීමා දිගටම


(දයාසීලි ලියනගේ)  

කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදීම රාජකාරි ආරම්භ කිරීම සඳුදා සිට සිදුවූවත් එය පසුගිය මාර්තු 11 වැනි දිනට පෙර පැවැති තත්ත්වය නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.  

වසංගත තත්ත්වයෙන් රට නිදහස් වෙනතුරු ජනතාවගේ එදිනෙදා කටයුතුවල සීමාවන් පනවා ගතයුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය.  
දැනට සොයාගන්නා රෝගීන් නාවික හමුදාවේ පොකුරට අයත් වෙන පිරිස නිසා තවමත් මේ රෝගය සමාජයට ඇතුළුවී නැති බව ඉතා පැහැදිලි බව ද ඔහු ප්‍රකාශ කළේය.  


මේ තත්ත්වය ආරක්ෂා කිරීම ජනතාව සතු වෙන අතර සෞඛ්‍ය උපදෙස් නොපිළිගෙන සංචරණය කළහොත් යළි රට අසීරුවට පත්වීමට හේතුවනු ඇතැයි ද ඔහු කීය.  


මේ අතර මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රටේ පවතින සෞඛ්‍ය වාතාවරණය පිළිබඳව වාර්තාවක් ලබාදී තිබෙන අතර ඒ අනුව මැතිවරණ කොමිසම තීරණයක් ගනු ඇතැයි ද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය.