රාජකාරි වැඩට කොළඹ සඳුදා ඇරෙයි


  • ආර්ථික කටයුතුවලට ඉඩ  
  • ඇඳිරි නීතිය දිගටම  
  • සමාජ ක්‍රියාකාරකම් සීමා වෙයි

 

 

(අජන්ත කුමාර අගලකඩ) 


කොරෝනා ව්‍යසනය පැතිරයාම පාලනය කිරීමේ පියවරක් ලෙස ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් වසා දැමුණු බස්නාහිර පළාත මාස එක හමාරකට පමණ පසුව ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පමණක් 11 වැනිදා සඳුදා සිට යළි විවෘත කෙරේ.  

ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන අතරතුර ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පමණක් දැඩි කොන්දේසි මත මෙම පළාත විවෘත කෙරෙන අතර, සමාජ ක්‍රියාකාරකම් තවදුරටත් සීමා කිරීමට ද රජය තීරණය කර ඇත.  


කොරෝනා ආසාදිත රෝගීන් බහුල වශයෙන් වාර්තා වීමත් සමග කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලට ඉකුත් මාර්තු මස 20 වැනිදා ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, ගතවූ මාස එක හමාරක පමණ කාලය තුළ එම පළාතේ ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුවේ එක් දිනක පැය කිහිපයක් පමණි.  


දිවයිනේ දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය මීට සති කිහිපයකට පෙර දහවල් කාලයේ ඉවත් කරනු ලැබූව ද, කොරෝනා අධි අවදානම් කලාප ලෙස නම් කෙරුණු කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.  


දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 21කට ඉකුත් 6 වැනිදා රාත්‍රී 8.00ට පැනවූ ඇඳිරි නීතිය 11 වැනිදා සඳුදා අලුයම 5.00ට ඉවත් කෙරේ.  


එසේ වුවද කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීති තවදුරටත් ක්‍රියාත්මක වෙන අතර, ඇඳිරි නීතිය පවතින අතරතුර ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පමණක් අවසර ලැබෙනු ඇත.  


ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශයේ අායතන 11 වැනිදා සඳුදා සිට යළි විවෘත කෙරෙන අතර, එම ආයතනවල කාර්ය මණ්ඩලවලින් තුනෙන් එකක් පමණක් ගෙන්වා 


ගන්නා ලෙස රජය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.  


පෞද්ගලික අංශයේ ආයතනවල කටයුතු ආරම්භ වන වේලාව උදේ 10.00 ලෙස ද දැනුම් දී ඇත.  


උත්සව, රැස්වීම්, මහජන හමුවීම්, විනෝද ගමන් ආදිය තවදුරටත් තහනම් වෙන බව ද රජය සඳහන් කරයි.  
මෙම දිස්ත්‍රික්කවල කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව සමාලෝචනය කර, තවත් සති දෙකකින් පමණ දහවල් කාලයේ ඇඳිරි නීතිය ඉවත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව ද වාර්තා වේ.  
එසේ වුවද රාත්‍රී කාලයේ සහ සති අන්තයේදී ඇඳිරි නීතිය පැනවෙනු ඇති බව ද වාර්තා වේ.