රවී ඇතුළු හත්දෙනෙක් උසාවියේ පෙනී සිටිති


(නිමන්ති රණසිංහ/රන්ජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, ඇතුළු හත්දෙනෙක් අභියාචනාධිකරණ නියෝග ප්‍රකාරව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ සිකුරාදා (13) පෙනී සිටියහ.

අභියාචනාධිකරණ රිට් පෙත්සම් 07කට අදාළ නියෝග ප්‍රකාරව මෙම සිද්ධියට අදාළව තවදුරටත් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට තමාට නොහැකි අතර සැකකරුවන් අධිකරණයට පැමිණීම සම්බන්ධයෙන් සටහන් තැබීම පමණක් සිදුකරමි යැයි ඒ අවස්ථාවේදී සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අධිකරණය හමුවේ පෙනීසිටීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වෙත ලිපි යොමුකරන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.


මෙම සිද්ධියට අදාළ සැකකරුවන්ගේ නිතීඥවරුන් අධිකරණය හමුවේ ගොනු කළ මෝෂන් පත්‍රයක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණ පෙත්සම් අංක සී ඒ රිට් 63/2020, 67/2020, 65/2020, 66/2020, 69/2020, 71/2020, 75/2020 දරන නඩුවලට අදාළ නියෝග පෙරේදා (13) අභියාචනාධිකරණය මගින් නිකුත් කළ අතර, එම නියෝගයේ සඳහන් පරිදි, පෙරේදා (13) සවස 4.00ට පෙර මෙම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වන්නේ නම්, ඔවුනට එරෙහිව තවදුරටත් කිසිදු නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර තිබිණී.


මෙම අභියාචනාධිකරණ පෙත්සම් සම්බන්ධයෙන් යළි කරුණු සැලකිරීම සඳහා වැඩිදුරටත් ලබන 17 වැනිදා අභියාචනාධිකරණය හමුවේ එම නඩු කැඳවීමටද නියමිතව ඇත.