රනිල්ද සජිත්ද තීන්දුව කල්යයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)   

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයට ඉදිරි සති දෙක ඇතුළතදී විසඳුමක් ලැබෙනු ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ එජාප මන්ත්‍රී කණ්ඩායම රැස්වුවද ගාලගෝට්ටි මැද එම රැස්වීම අවසන් විය.   

එම රැස්වීමෙන් පසු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනමාධ්‍යයට පැවැසුවේ එජාප නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගෙන් කැමැත්ත විමසූවිට එම රැස්වීමට පැමිණ මන්ත්‍රීවරුන් 65 දෙනාගෙන් පනස් දෙදෙනකු සජිත්ට කැමැත්ත පළ කළ බවය. ඒ අනුව සිකුරාදා සිට එජා පෙරමුණේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කරන බවද ඒ මහතා පැවැසීය.   


මේ සම්බන්ධයෙන් විමසූවිට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරු එක්වී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවය.   


මෙම සාකච්ඡාව බොහෝ දුරට ලබන 24 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇත.   


පසුගිය බ්‍රහස්පතින්දා සිරිකොත මන්දිරයේ දී පැවැති මන්ත්‍රී කණ්ඩායමේ තීන්දු තීරණ නීත්‍යානුකූල නොවන අතර පක්ෂ නායකත්වයෙන් ලබාදෙන තීන්දුව නීත්‍යානුකූල වන බැවින් ඉදිරි සති දෙක ඇතුළත දී පක්ෂ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි ද ලේකම්වරයා කීය.