රථවාහන තොරතුරු ස්ටිකරය අලවන්නත් කලින්ම සල්ලි ඉල්ලලා


(දයාසීලි ලියනගේ)  

සියලුම රථවාහන තොරතුරු ක්ෂණිකව ලබාගත හැකි අධි සංවේදී ස්ටිකරයක් (R.F.L.D) ඇළවීමට තීරණය කර, එය ක්‍රියාත්මක කිරීමටත් පෙර එක්තරා ආයතනයක් මගින් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 9000ක ප්‍රමාද ගාස්තු ඉල්ලා සිටීමේ සිද්ධියක් වාර්තා වේ.  

යම් වාහනයක් පිළිබඳ අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමට අවස්ථාව සැලසෙන මෙම ස්ටිකරය මුද්‍රණය සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ගිවිසුම් ගතවී ඇති බව ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව එහි ​ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.  


ඵලදායී නොවන කටයුතු සඳහා පුද්ගලික ආයතනවලට විශාල වශයෙන් මුදල් ගෙවීමේ කටයුතුවලින් බැහැර වන ලෙස මෙහිදී ඇමැතිවරයා තරයේ උපදෙස් දී ඇති බව ද ඔහු කීය. මෙම වැඩපිළිවෙළ පසුගිය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.  මේ අතර මෙම ස්ටිකරය (R.F.L.D) පිළිබඳව ප්‍රතිචාර දක්වන උපකරණයක් පොලිසිය වැනි ආයතනවලට ලබාදීමට නියමිතව තිබුණත් ඒ සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව ද මෙහිදී අනාවරණය වී ඇත.