රතන හිමි ඇතුළු හතළිස් නමක් මාරාන්තික උපවාසයක


රිෂාද්-සාලි-හිස්බුල්ලා ඉවත් කරනු 

 

(දයාසීලි ලියනගේ)  

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා හා අසාද් සාලි, ඒ.එල්.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා හතළිස් නමක් පසුගිය සිකුරාදා (31) සිට මහනුවර දළදා මාලිගාවේ මහමළුවේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.   

මෙම උපවාසයේදී රතන හිමියන් ජලය ආහාරපාන වැළඳීමෙන් වැළකී සිටින බව සංවිධායක මණ්ඩල ප්‍රකාශකයෙක් කීය.  


අදාළ තිදෙනා වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් ශාසනාරක්ෂක බල මණ්ඩල ලේකම් හිමිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට ඉකුත් 22 වැනිදා ලිපියක්ද බාරදී තිබුණි.  
එම ඉල්ලීමට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ඉහළම පියවරක් ගනු ලබන බව රතන හිමියෝ ප්‍රකාශ කර සිටියහ.  


රතන හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ උපවාසය ආරමභ කළේ එම තීන්දුවෙන් පසුවය. එම අවස්ථාවට අති විශාල පිරිසක් සහභාගිවී සිටියහ.  


දළදා මාලිගාව ඇතුළතදී අධිෂ්ඨාන පූජාවකට සහභාගිවූ උන්වහන්සේට භික්ෂුන් වහන්සේ පිරිසක් සෙත් පිරිත් සජ්ජායනා කිරීමෙන් පසු මහමළුවට පැමිණ උපවාසය ආරම්භ කළහ. සිකුරාදා උදෑසන සිටම කිසිදු අහාරයක් නොගත් රතන හිමියන් රටේ ජනතාව වෙනුවෙන් මෙම තිදෙනා ඉවත් කරන තෙක් ජීවිත පූජාවෙන් උපවාසය කිරීමට තීරණය කර ඇතැයිද සංවිධායක මණ්ඩලය කියයි.