රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියට 83ක්!


(උපුල් වික්‍රමසිංහ)  

වර්ෂ 2018 අවසන් වෙන විට දේශීය හා විදේශීය මූලාශ්‍ර මගින් ශ්‍රී ලංකාව ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් මිලියන එක්කෝටි දහ නව ලක්ෂ හැත්තෑහත්දහස් පන්සිය තිස් නවයක් (11977539) වෙන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති “ශ්‍රී ලංකා ආර්ථික දත්ත 2019” යන නවතම වාර්තාවෙහි සඳහන් වෙයි.  

එහි දැක්වෙන අන්දමට 2018 වසර අවසානය වෙන විට ගෙවීමට ඇති එම සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්‍පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 82.9කි.  


රුපියල් මිලියන හැට ලක්ෂ දාහත්දහස් නවසිය අනූදෙකක (6017992) මුදලක් දේශීය මූලාශ්‍රවලට ගෙවීමට ඇති ණය වෙන අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස එහි අගය සියයට 41.6කි. විදේශීය මූලාශ්‍ර සඳහා ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් පනස් නව මිලියන පනස් නව දහස් පන්සියය හතළිස් හතක් (5959547) වන අතර එහි ප්‍රතිශතාත්මක අගය සියයට 41.2කි.  


වසර 2017 අවසන් වන විට ගෙවීමට තිබූ මුළු ණය ප්‍රමාණය වූ රුපියල් මිලියන දස කෝටි තිස් එක් ලක්ෂ තුන්දහස් හතළිස් පහක (10313045) මුදල් ප්‍රමාණය හා සසඳා බැලීමේදී 2018 වර්ෂය අවසන් වෙන විට ණය බර තවත් රුපියල් මිලියන දාසය ලක්ෂ හැටහතර දහස් හාරසියය අනූ හතරකින් (1664494) ඉහළ ගොස් ඇත.