රටින් ගෙන ඒම තහනම් ධාන්‍ය දිගටම රටින් ගෙනත්


(මහින්ද නිශ්ශංක) 

ලංකාවට ආනයන කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන කවුපි, මුංඇට, උඳු, කුරහන් හා කහ යන ආහාර ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ජාවාරම්කරුවන් විසින් මෙරටට ගෙන්වන බවට රේගුව හා නීත්‍යානුකූලව ආහාර ද්‍රව්‍ය ආනයනය කරනු ලබන ආනයනකරුවෝ පවසති. 

 මෙම ජාවාරම්කරුවන් විසින් ආනයනය කරනු ලබන අර්තාපල්, ලොකුළුෑණු, වියළි මිරිස් ඇතුළු අනෙකුත් ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර්වල සඟවා මෙම ආනයනය තහනම් භාණ්ඩ ගෙන්වා ඇති බව රේගු පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 


 පසුගිය දිනවල කන්ටේනර් 15 කින් මෙසේ නීති විරෝධී ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් ගෙන්වා තිබෙන අතර රේගුව ඒවා අත්අඩංගුවට ගෙන ඇත. 


 නීතිවිරෝධී භාණ්ඩ ගෙන්වූ රටටම අපනයනය කරන ලෙසට ද රේගුව මගින් අද‌ාළ ආනයනකරුවන්ට නියෝග කර ඇත. 


මෙම තහනම් බඩු නීතිවිරෝධීව ගෙන්වනු ලබන්නේ වැඩි මිලට විකිණීමට බව සඳහන් වේ. 
 මේ අතර පිටකොටුව තොග වෙළෙඳපොළේ රුපියල් 300ත් 400ත් වශයෙන් තිබූ කවුපි කිලෝව රුපියල් 600 දක්වා ද, මුංඇට කිලෝවක තොග මිල රුපියල් 750 දක්වා ද, උඳු කිලෝවක තොග මිල රුපියල් 1600 දක්වා ද කුරහන් කිලෝවක තොග මිල රුපියල් 600 දක්වා ද ඉහළ ගොස් ඇතැයි ආනයනකරුවෝ සඳහන් කර ඇත.