රටම හැඬවූ මහා විපත


 

(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ ඇදහැළුැණු මහවැසි සමග ඇති වූ නායයෑම්, ගංවතුර හා තද සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින අතර සිකුරාදා සවස වන විට මරණ 91ක් පමණ වාර්තා වී තිබිණ.


මෙය 2003 වසරේ දී ඇති වූ මහ ගංවතුර හා සමාන ගංවතුරක් බවද වාර්තා වූ අතර පීඩාවට පත් වූ ප්‍රමාණය හා සිදුවූ හානිය සිකුරාදා දහවල් වන විටත් ගණනය කර නොතිබිණි.


තවත් පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් නායයෑම්, කඳු කඩා වැටීම් හා ගංවතුර හේතුවෙන් අතුරුදන්ව ඇති බව ද වාර්තා විය.
අධික වැසි හේතුවෙන් කැලණි, කළු, නිල්වලා සහ ගිං ගංඟාවන් පිටාර ගලමින් පවතින අතර වලවේ ගඟ ද පිටාර මට්ටමට ආසන්න වෙමින් තිබුණේ අයහපත් කාලගුණයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ දකුණු පළාතටය.

 


දකුණු පළාතට 2003 වසරෙන් පසුව ඇති වූ විශාලතම ගංවතුර මෙය බවද වාර්තා වන අතර මාතර දිස්ත්‍රික්කයට මෙවන් ගංවතුරක් ඇති වූයේ වසර 17කට පමණ පසුව බව වාර්තා  වේ.


කළුතර, බුලත්සිංහල, මහගම, බෝගහවත්ත ප්‍රදේශයේ පස් කන්දක් නායයෑමෙන් එයට යට වූ 9 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු අතුරුදන් වී ඇති අතර සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ නිවසක් මතට අඩි 20ක් පමණ උස තාප්පයක් හා පස් කන්දක් කඩා වැටීමෙන් මවක සහ දියණියක මරණයට පත්ව තිබේ.


මීට අමතරව අගලවත්ත, මාවතවත්ත නිවාස තුනක් නාය යෑමට ලක්වීමෙන් ද පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර ගැබිනි මවක හා කුඩා දරුවකු ද මියගිය අය අතර වෙති. එහි තවත් 7 දෙනෙකු අතුරුදන් වී තිබිණි.

 


කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මදලගම ජනපදය ග්‍රාම නිලධාරී වසමේ අඩි පාරක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මතට ගසක් කඩා වැටීමෙන් ඔහු එම ස්ථානයේම මියගොස් ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.


මෙසේ මියගොස් ඇත්තේ 52 හැවිරිදි තිදරු පියෙකු වන පී.ඒ. ගාමිණී පෙරේරා නමැත්තෙකි.


ගන්දර ප්‍රදේශයේ නිවසක් මතට තාප්පයක් කඩා වැටීමෙන් ද කාන්තාවක් මියගොස් තිබේ.

 


අවිස්සාවේල්ල, වෙලන්ගල්ල ප්‍රදේශයේ ද නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ 14 හැවිරිදි පාසල් දැරියක සහ 10 හැවිරිදි පිරිමි දරුවෙකි.


බෙලිඅත්ත, වහරක්ගොඩ, බෝගහකොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි පාසල් දරුවෙක් ද ගංවතුරට හසුවීමෙන් මියගොස් ඇති අතර එසේ මියගොස් ඇත්තේ වීරකැටිය රාජපක්‍ෂ මැදි විදුහලේ 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අශෝක් ශාමන්ත නමැති දරුවෙකි.


තංගල්ල අධිකරණයට පැමිණෙමින් සිටි අයෙකු ද ජලයෙන් පිරී ගිය කානුවකට ඇද වැටීමෙන් මියගොස් ඇති අතර ඔහු කැකුණදුර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි තිදරු පියෙකි.

 


බෙලිඅත්ත, කහවත්ත ප්‍රදේශයේ දී ජල පහරකට හසුවීමෙන් ද පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


මීට අමතරව ආපදා තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය, මඩකළපුව, කළුතර, මුලතිව්, වව්නියාව, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල පවුල් රැසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.


දැඩි සුළං නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස ද විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව සිකුරාදා දහවල් වන විට වාර්තා වී තිබිණි.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදූව පිවිසුම් ද ඇතුළුව මාර්ග රැසක් ද ජලයෙන් යට වී තිබිණි.


ජලයෙන් යට වී ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් කර ගැනීම සඳහා යුද, නාවික සහ ගුවන් හමුදාව යොදවා ඇති අතර ඒ වෙනුවෙන් බෝට්ටු මෙන්ම බෙල්-212 සහ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා දෙකක් ද යොදවා ඇති බව ගුවන් හමුදාව පවසයි.


පීඩාවට පත්වූවන් වෙත පිසූ සහ වියළි ආහාර ඇතුළු සහන සැලසීම දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සිදුකෙරෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ, අලුත්ගම සරත් සිරිවර්ධන


 

නෙළුවේ පස්කන්දකට කාන්තාවෝ දහදෙනෙක් යටවෙති

(හබරාදූව නිමල් අල්ගෙවත්ත) 
නෙළුවේ දූලිඇල්ල තේ කර්මාන්ත ශාලාවේ කාන්තා නේවාසිකාගාරයට පස්කන්දක් කඩා වැටී කාන්තාවෝ 10 ක් ඊට යට වී ඇත. ඉන් තිදෙනෙක් බේරාගෙන ඇත. මෙම තිදෙනාගෙන් එක් අයෙක් ඉන්පසු මිය ගොස් තිබේ. පස්කන්දට යටවූ ඉතිරි කාන්තාවන් 07 සොයා පොලිසිය හා හමුදාව දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.


බුලත්සිංහල පාහියන්ගල කන්ද නායගොස් හැට ගණනක් අතුරුදන්

බුලත්සිංහල මැතිවරණ කොට්ඨාසයේ පාහියන්ගල කන්ද නායයාමෙන් ප්‍රදේශවාසීන් හැට දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය තහවුරු කළේය. එම ප්‍රදේශයට ළඟාවීම සඳහා ප්‍රමාණවත් මාර්ග පහසුකම් නොතිබීම නිසා මුදා ගැනීමේ කටයුතු අඩාළවී පැවතිණ. අයහපත් කාලගුණය නිසා හෙලිකොප්ටර් යානා පහත් කිරීමටද බාධා එල්ල විය. පත්‍රය මුද්‍රණයට යන මොහොතේ දැන ගන්නට ලැබුණේ නාය යාමෙන් අතුරුදන්වූ 25 දෙනකුගේ පමණ මළ සිරුරු ගොඩ ගෙන ඇති බවයි.

(ඡායාරූපය නාගොඩ හේමපාල ලියනගේ)