රට අසීරුවට පත්කළ සිද්ධීන් ඇතුළත් චිත්‍රපටයක් පොහොට්ටුවෙන්


(දයාසිලි ලියනගේ)   

මේ රජය කාලය තුළ රට අසීරුවට පත්වූ සිද්ධීන් ඇතුළත් වාර්තාමය චිත්‍රපටයක් සියලු ආසනවල ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන ඇත.   

පැය භාගයක කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටයට පාස්කු ප්‍රහාරය රට පාවාදීමට ඉදිරිපත් කළ ජිනීවා යෝජනා ජනාධිපති රැස්වීම්වලට අගමැති අසීරුවට පත්වන ආකාරයට කර ඇති කතා ආර්ථික කඩා වැටීම, බැඳුම්කර වංචාව, විදුලිය ගසා කෑම ඇතුළු කරුණු ඇතුළත් කර නිර්මාණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කීය.  පසුගිය සතියේ පැවැති විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවෙන් පසු මෙම වාර්තා චිත්‍රපටය මන්ත්‍රී කණ්ඩායමට ප්‍රදර්ශනය කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.   


චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු සියලු මන්ත්‍රීවරුනට එහි සීඩී තැටි ලබාදී ඇති අතර රැස්වීම් අවස්ථාවල දී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලෙසට උපදෙස් දුන් බව ද සිසිර ජයකොඩි මහතා කීය.