රජයේ සේවක කොටසක් සඳුදා සිට කොළඹට


(අජන්ත කුමාර අගලකඩ)  

බස්නාහිර පළාතේ රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා ලබන සඳුදා සිට එහි සේවකයන්ගෙන් සියයට 20ක් පමණ ගෙන්වා ගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.  

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (23) එම අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.  


විශේෂයෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාලවල කටයුතු පවත්වා ගෙන යාමේදී ආසන්නම ප්‍රදේශවල සේවකයන් පමණක් ගෙන්වා ගැනීමට ද එහිදී තීරණය කර ඇත.  


ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය ආයතන ප්‍රධානින්ට පවරා ඇත.  


මේ අතර, රජයේ කාර්යාලවල සේවයට එන කාන්තාවන් සාරි ඇඳීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, ආයතනයට ගැළපෙන පහසු ඇඳුමකින් පැමිණිම ප්‍රමාණවත් බවත්, ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.  


ඒ සියලු දෙනා සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරන ලද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අදාළ නියෝග පිළිපැදිය යුතු බව ද ඇමැතිවරයා කීවේය.