රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දෙ ඉල්ලන්න තහනම් නීතිය ඉවත් කරන්න යයි


(අජන්ත කුමාර අගලකඩ) 


සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරින්ට මැතිවරණවලට තරග කිරීමට නොහැකිවන සේ පනවා ඇති තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.  

ඒ සඳහා 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතට සංශෝධනයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය. සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරින්ට පළාත් පාලන මැතිවරණවලට තරග කිරීමට නොහැකිවන සේ නව නීතියක් ඉකුත් රජය සමයේ 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් හඳුන්වා දුන්නේය.  මේ තත්ත්වය මත ක්ෂේත්‍ර නිලධාරින් රැසකට 2018 පෙබරවාරි පැවැති පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබිණි.  


රජයේ ක්ෂේත්‍ර නිලධාරින් පළාත් පාලන මැතිවරණවලට තරග කරන්නේ නම් මැතිවරණයට නාමයෝජනා භාර ගැනෙන දිනට වසරකට පෙර සිය තනතුරුවලින් ඉවත් විය යුතු බව 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ සඳහන් කර ඇත.