රජයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීම ළඟදීම


(දයාසීලි ලියනගේ)   
රජයේ ඉදිරි වසර 3ක කාලයට ක්‍රියාත්මක කෙරෙන ආර්ථික ප්‍රතිපත්ති වැඩපිළිවෙළ ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.   

මේ යටතේ සම්මුතිවාදී රජයේ සමාජ, ආර්ථික හා වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ මේ දිනවල කඩිනමින් සකස් කරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ‘ඉරිදා ලංකාදීප’යට කීය.   


මෙම රජය යටතේ පසුගිය වසර 2 1/2ක කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ අතර රජයේ ඉදිරි කාලය සඳහා රටේ සංවර්ධනයට ගනු ලබන වැඩපිළිවෙළ ජනතාව හමුවට ඉදිරිපත් කරනු ලබන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.   


මේ යටතේ ක්‍රියාත්මක කරනු ලබන නොවෙනස් වන ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.   


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.