යෝජිත නව ව්‍යවස්ථාවෙන්වත් දෙමළ ජනයාට සහනයක් නැහැ - ටෙලෝ සංවිධානය


(නිශාන්ත කුමාර බණ්ඩාර) 

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දෙමළ ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ටෙලෝ සංවිධානය සඳහන් කරයි. 

දැනට තිබෙන ව්‍යවස්ථාව හා සසඳන කළ යෝජිත ව්‍යවස්ථාවෙන් ද දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් අපේක්ෂා කළ නොහැකි බවත් එසේ නොමැතිව දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට වෙනත් ආකාරයක් නැතැයි එම සංවිධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි. 


මේ නිසා නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට ටෙලෝ සංවිධානයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ. දැනට තිබෙන ව්‍යවස්ථාවේද ඒකීය රාජ්‍යය කියන වචනය තිබෙන අතර නව ව්‍යවස්ථාවේද එලෙසම සඳහන් වෙයි. 


නව ව්‍යවස්ථාව තුළින් ද දෙමළ ජනතාවට කිසිදු සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා නොකරන අතර බලය බෙදීමක් ද අපේක්ෂා නොකරන බව සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.