යුද සමයේ සිදු වූ ඝාතන ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ


උතුරු පළාත් හිටපු මහ ඇමැති 

 

 

(නිශාන්ත කුමාර බණ්ඩාර) 

යුද සමයේ මෙරට සිදු වූ අපරාධ සහ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය මැදිහත්වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. 

 ජාත්‍යන්තරයේ සියලු රටවල් එක්ව යුද සමයේ මෙරට සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඉන් පීඩාවට පත් වූවන්ට සාධාරණයක් ඉටුකර දිය යුතු බවයි විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙන්නේ. 


 ඔහු මේ බව සඳහන් කළේ පසුගියද‌ා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැති ජාත්‍යන්තර දෙමළ සංවිධානයේ 6 වැනි සැමරුම් වැඩසටහනට සහභාගි වීමෙන් පසු පැවැති දේශනයකදීය. 


වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ බහුතර සිංහල ජනතාවගේ පාලනයක් ස්ථාපිතවී ඇති බවත් සුළුතර ජාතීන්ගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට අසීරු වී ඇතැයි ඔහු පැවැසීය. 


ඒ නිසා සුළුතර ජාතීන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් ජාත්‍යන්තරය මැදිහත්විය යුතු බව ඔහු එම සැමරුම් උත්සවයේදී පවසා ඇත. 
 උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වෙන දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ ජීවත්වන සියලු දෙමළ ජනතාව එක්විය යුතු බව ද විග්නේෂ්වරන් මහතා මෙහිදී සඳහන් කර තිබේ. 


 මේ අතර ශ්‍රී ලංකාවේ හා උතුරු පළාතේ දේශපාලන තත්ත්වය, යුද්ධයෙන් පසු උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සහ උතුරේ ජන ජීවිතය සම්බන්ධයෙන් ඉන්දියවේ සුපිරි නළු රජිනි කාන්ත් සමග ද විග්නේෂ්වරන් මහතා සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.