යම් චූදිතයෙක් සමග කෝප් සාමාජිකයන් සබඳතා පැවැත්වීම ප්‍රශ්නයක්


(දයාසීලී ලියනගේ)  
කෝප් කමිටුව යම් පරීක්ෂණයක් පවත්වද්දී එහි සාමාජිකයන් චූදිතයෙක් සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්වීම මුළුමනින්ම සදාචාර විරෝධී විශ්වාසය කඩ කර ගැනීමක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා කියයි.  


බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු දෙමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂවලින් කෝප් කමිටුවට සාමාජිකයන් පත් කර එවන්නේ එම සාමාජිකයන්ට කෝප් කමිටුවේ කටයුතු පිළිබඳව අවබෝධයකින් හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනුවත් බවකින්ද යුක්තව බවයි.  


එම සාමාජිකයන් සදාචාර විරෝධි ලෙසත් විශ්වාසය කඩවන අාකාරයටත් කටයුතු කර ඇත්නම් ඒ පිළිබඳව ඒ ඒ පක්ෂවල නායකයන් සුදුසු ක්‍රියා මාර්ග ගත යුතු බවද ඔහු කීය.  


කෝප් කමිටුවට ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ගයක් නැති බවද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.  

කෙසේ වෙතත් මෙම දුරකථන සංවාද පිළිබඳ හඬපට ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට සහභාගි වෙමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු කීය. අර්ජුන ඇලෝසියස් සමඟ සම්බන්ධකම් පැවැත්වූ සාමාජිකයන් සිටියදීම කෝප් කමිටුවට වගකීම් ඉටු කිරීමටත්, පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කිරීමටත් හැකිවීම ගැන කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමන් සතුටට පත්වන බවද ඔහු කීය.  


ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීන් සිය යුතුකම් හා වගකීම් නොසළකා කටයුතු කිරීම ඉතාම බරපතල කරුණක් බවද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.