මෝදි ආ වෙසක් උළෙලට ඇතුළු වෙන්න ගිහින් කූඩුකළ පූජකයා මානසික රෝගියෙක්


 

එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල  කොළඹ බණ්ඩාරනායක  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙනි. 


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අග්‍රමාත්‍ය දි.මු. ජයරත්න යන මහත්වරුන්ද මෙම ඓතිහාසික  අවස්ථාවට  එක්ව සිටියහ.


ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට රටවල් සියයක පමණ භික්ෂූන්  වහන්සේලා ඇතුළු ජාත්‍යන්තර නියෝජිතයෝ 400ක පමණ දෙනාද සහභාගි වූහ. 


දෙස් විදෙස් ප්‍රභූවරුන්  රැසක්ම මෙම අවස්ථාවට සහභාගී වී සිටීම නිසා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පමණක් නොව ඒ අවට ප්‍රදේශයේද ආරක්ෂක රැකවල් දැඩිකර තිබිණි. 


ආගමික පූජකවරයෙක් ලෙස සැරසී සිටි අයෙක් ගැන උකුසු ඇස යොමුවී තිබුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි පොලිස් මුරපොළේ නිලධාරීන්ගේය.


මොහුගේ හැසිරීම් රටාව කෙරෙහි සෙවිල්ලෙන් සිටි පොලිස් නිලධාරීන්ට ඇතිවී ඇත්තේ බලවත් සැකයකි. 


පොලිසියට ඇතිවූ ඒ සැකය නිසාම ඒ මොහොතේම ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්න කිරීම සඳහාය. මොහු 64 වැනි වියේ පමණ පසුවන අයෙකි. 


සැකකරු ගැන ඇතිව තිබූ සැකය තහවුරු වූයේ ඔහු සන්තකයේ අඟල් හයක් පමණ දිග කතුරක් තිබී සොයා ගැනීමත් සමගය. 
ජාත්‍යන්තර බොදු සමුළුවට සහභාගිවීමට සංවිධායක මණ්ඩලය විශේෂ අවසර පත්‍රයක් නිකුත් කර තිබූ අතර ඒ අවසර පත්‍රය නොමැතිව කිසිවකුට එයට ඇතුළුවීමට නොහැකිය. 


සැකකරු සන්තකයේ තිබූ අවසර පත්‍රය පරීක්ෂා කර බැලීමේදී එය අතින් ලියා සකස් කරන ලද්දක් බව පොලිසියට පෙනීයාම ද ඒ සැකය තවත් වැඩිවීමට බලපා ඇති බව පොලිසිය කීය. 


මේ අවසර පත්‍රය ඔහුගේ අතින්ම ලියා සකස්කර ඇත.


පොලිසිය පූජක වෙස්ගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට උත්සවයට සහභාගිවූ ඉන්දීය අගමැතිවරයා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පිටවගොස් තිබිණි. 


බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අල්ලාගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දුන්නේ කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙතය. 


බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොලිස් මුරපොළේ  නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ ඡායාරූපයක් තිබී සොයාගෙන එය කුරුඳුවත්ත පොලිසිය වෙත බාරදී ඇත. 


සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේ සිට සැකකරු මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ එහි සිටි ඡායාරූප ශිල්පියෙකුගේ මාර්ගයෙනි.  
ලබාගත් ඡායාරූපය වෙනුවෙන් ගෙවීමට මුදල් නොමැතිව සිටියදී එම මුදල ගෙවා ඇත්තේ එහි සිටි විදේශිකයකුගෙන්  ඉල්ලාගෙන බවද පැවසේ. 


සැකකරුගේ පදිංචිය ගැන ඔහුගෙන්ම අසා දැනගත් පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම මාලිගාවත්ත  ප්‍රදේශය බලා පිටත්ව ගියේ නිවස සෝදිසි කිරීම සඳහාය. 


හැට හතර හැවිරිදි මෙම සැකකරු රැකබලාගෙන ඇත්තේ ඔහුගේ දියණියක විසින් බව එහි ගිය පොලිස් කණ්ඩායමට දැන ගැනීමට ලැබී ඇත. 


සැකකරු   පදිංචිව සිටි නිවස සෝදිසි කර බැලීමේදී ඔහුට අයත් විදේශ ගමන් බලපත්‍රයක් සොයා ගැනීමට පොලිසියට හැකිවිය. 
පොලිසිය සොයාගත් ඒ විදෙස් ගමන් බලපත්‍රයට අනුව 1998 වසරේදී ඔහුව බංගලි දේශ රටෙන් පිටුවහල් කළ අයෙක් බවට තොරතුරු අනාවරණය විය. 


මෙම සැකකරු අල්ලාදාස් මොහොමඞ් කලී මුල්ලා හා මොහොමඞ් මන්සූර් කලීල් යන නම් දෙකකින් පෙනී සිට ඇති අයෙකි. 
මොහු  මෙසේ නම් දෙකකින් පෙනී සිටියේ ඇයිද යන්න සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 


මෙම සැකකරු බංගලාදේශයට අමතරව පකිස්ථානය, ඉන්දියාව සහ නේපාල යන රටවලද සංචාරය කර තිබෙන අයෙක් බව ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කර බැලීමේදී පොලිසියට පෙනී ගොස් තිබේ.    

                                  
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසු ආකාරය මෙම සැකකරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ක්‍රියාත්මකවූ කාලයේ  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවතා තිබු ගුවන් යානයක හොර රහසේ ඇතුල්වී එහි අසුනක වාඩිවී සිටියදී ගුවන් තොටුපොල බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති අයෙකි. 


පොලිසිය 64 හැවිරිදි  සැකකරු රැක බලාගත් දියණියගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී ඇය මෙසේ ප්‍රකාශ කර තිබෙන බව දැන ගැනීමට ඇත. 


‘තාත්තා කාලයක ඉඳලා මානසික රෝගයකට වෛද්‍ය ප්‍රතිකාර  ලබා ගන්නවා. පසුගිය 12 වැනිදා තාත්තා ගෙදරට වෙලා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණ ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති බොදු සමුළුව රූපවාහිනියෙන් නරඹමින් සිටියා. ඒ උත්සවය පැවැති නාලිකා මගින් සජීවීව ප්‍රචාරය කලා. තාත්තා රූපවාහිනියෙන් ඒ දර්ශන නරඹමින් ඉන්න ගමන් මට ජනාධිපතිතුමා බලන්න සම්මන්ත්‍රණ ශාලාවට යන්න ඕනෑ කියා කිව්වා. එතකොට වේලාව දහවල් 11.30ට විතර ඇති. ටික වේලාවකින් බලද්දී තාත්තා ගෙදර හිටියේ නැහැ. මම හිතුවා තාත්තා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට යන්න ඇති කියා. 
සැකකරු මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බවට තහවුරු කිරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සටහන් සහ ඖෂධ වර්ගද ඔහුගේ දියණිය විසින් පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කර ඇති බව පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස්  නිලධාරියෙකි.


කෙසේ වෙතත් ප්‍රභූන් රැසක් පැමිණි ජාත්‍යන්තර වෙසක් සමුළුවට පූජකයෙක් ලෙස පෙනී සිටිමින් සැකකරු පැමිණීමට හේතු සාධක සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි කොට්ඨාසය ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය  තවදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 


අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. 


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දා මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ කොළඹ දකුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත මනාමල්දෙණිය යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීම යටතේ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් ද සිල්වා මහතාගේ  ප්‍රධානත්වයෙන්  පොලිස් පරීක්ෂක සමන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය