මෛත්‍රී ශ්‍රීලනිපය ශුද්ධ කරයි


ආසන සංවිධායකයන් අලුතින්: සම සංවිධායක ධුර නැති කරයි  

 

 

(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)  

ලබන මස මුලදී සිදු කෙරෙන පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු රැසක වෙනස්කම් සිදුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.   

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අලුතින් පත් කිරීමටත් සංවිධායකවරුන් ඉවත් කර එක් ආසනයකට එක් සංවිධායකවරයකු බැගින් පමණක් පත් කිරීමටත් තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි.  


දැනට සිටින දිස්ත්‍රික් සංවිධායකවරුන් ඉවත් කර ඉන් ක්‍රියාකාරි කිහිප දෙනකු දිස්ත්‍රික් කළමනාකරුවන් ලෙස පත් කරන බවත් ඔවුන්ට පක්ෂයේ වගකීම් කොටසක් පවරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.  


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන නව සන්ධානයට විරුද්ධ කවුරුන් හෝ සිටින්නේ නම් ඔවුන්ට පක්ෂයෙන් ඉවත්වී යා හැකි බවද ජනාධිපතිවරයා එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින තාවකාලික නිලධාරි මණ්ඩලය වෙනුවට ස්ථිර නිලධාරි මණ්ඩලයක්ද ලබන මාසය තුළදී පත්කර ගැනීමට තීරණය කර ඇත.