මෙතනින් එහාට බැඳුම්කර කොමිසම කොහාටද ?


 

බැඳුම්කර කොමිසමේ මොකද වෙන්නේ..?   


මේ, කොමිසමෙන් පස්සේ මොකද වෙන්නේ..? 


දන්න අඳුරන අය දකින දකින වේලේදී නගන ප‍්‍රශ්න අතරේ මෙය ප‍්‍රධානම ප‍්‍රශ්නයක් බවට පත් වී ඇත. ඒ දේශපාලනය නම් ‘බට කැලේ’ ගිනි ගත් පසු නැගෙන සුළඟට අළු හතර දිග්භාගය පුරාම විසිරී යන නිසා විය හැක.   
‘බැඳුම්කර කොමිසමත් අනිත් කොමිෂන් වගේම නේද? ප‍්‍රශ්නය මඟ හරින්න, ප‍්‍රශ්නයක් සඳහා මිනිසුන්ගේ ඇති උනන්දුව, උවමනාව මඟ හරින්න, ආණ්ඩුවකට තියෙන ආයුධ අතරින් හොඳම ආයුධයක් තමයි කොමිසමක් පත් කරන එක’.   


මේ දක්වා පත් වූ සෑම ආණ්ඩුවකම කෙරුවාව දන්නා මිනිසුන් පළමු ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්නටත් පෙරම දෙවැනි ප‍්‍රශ්නය ඉදිරිපත් කරති.   


‘ප‍්‍රශ්න මඟ හරින්න, කල් මරන්න, ප‍්‍රශ්න සඳහා මිනිසුන්ගේ ඇති උනන්දුව අඩුකරවන්න, ජනතාව ගොනාට අන්දවන්න ආණ්ඩු කොමිෂන් පත් කරන’ බව ජනතාව විශ්වාස කිරීම නිසා මිනිසුන් එක පෙළට මෙවැනි ප‍්‍රශ්න කරන්නේ ද? එය රටක යහ පැවැත්මට එතරම්ම හිතකර වෙන්නේ නැත.   


ප‍්‍රධාන මාර්ගයන් හරස්කර පාර මැද ටයර් පුළුස්සමින් උද්ඝෝෂණය කිරීම තම ප‍්‍රශ්න කෙරෙහි රජයේ අවධානය දිනා ගැනීමට මෙන්ම ඒ සඳහා රජයන්ගෙන් නිසි විසඳුම් ලබාගැනීමට ඇති හොඳම ක‍්‍රමය බව ජනතාවගේ විශ්වාසයට පත්වීම, ආණ්ඩු පිහිටුවීමේ මෙන්ම කඩාවැටීමේ ද, රටක අරාජික භාවය පිිළිබිඹු කිරීමේ ද හොඳම සාධකයක් වෙන බව බොහෝ දෙනා අදහන තත්ත්වයට රට පත්ව අත්දැයි මේ දේවල් අහන දකින අපටද සැක සිතේ.   


වී ටික, මිරිස් ටික, එළවළු ටික, ගම්මිරිස් ටික, විකුණා ගත නොහැකි වූ තැන, ගමට යන පාර අලුත්වැඩියා කර ගැනීමට නොහැකි වූ තැන, ගමට පනින අලි කිසියම් කැලෑ සීමාවකට කොටු කිරීමට ගම වටා ‘අලි වැට’ ඉදිකරවා ගැනීමට අවශ්‍ය වූ තැන ගම් නියම් ගම් පිටින් පැමිණෙන ජනතාව ප‍්‍රධාන පාර අරක් ගනිති. අවුරුදු ගණනාවක් පුරා ලියුම් කඩදාසි එහා මෙහා යවමින් කරගැනීමට නොහැකි වූ දේ පැය දෙක තුනක කාලයක දී කරන උද්ඝෝෂණයක ආනුභාවයෙන් ඉටුවන බවට ජනතාවට අත්දැකීම් ඇත. එමනිසා සෑම ප‍්‍රශ්නයකටම ‘උද්ඝෝෂණය’ මහජනතාව පළිහක් කරගෙන ඇත.   


එම ‘පළිහ’ ඔවුන් සෑම විටකදීම ඉදිරියට දමති. පාලකයෝ ද මේ තත්ත්වයෙන් ගැලවීමට ප‍්‍රති පළිහක් ලෙස විවිධ උපක‍්‍රම, උප්පරවැට්ටි මෙන්ම ප‍්‍රශ්නවලට නිසි විසඳුම් සෙවීම සඳහා සත්භාවයෙන් යුතුවම විවිධාකාර වූ කොමිෂන් සභා පත් කරති.   


පසුගිය වසර විසිපහක තිහක කාලය පුරා මේ රටේ පාලනය බාරගත් බොහෝ දේශපාලනඥයන් ඒ ඒ ආණ්ඩු කාලවලදී ද ඊට පෙර රට කරවූ ආණ්ඩු කාලවලදී ද සිදු වුණු විවිධ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා විවිධ ආණ්ඩු, විවිධ කොමිෂන් පත් කළත් ඒවායින් පළක් වුණා ද? යන්න මේ රටේ ජනතාවට මෙන්ම අපටද ප‍්‍රශ්න සහගත අවස්ථාවන් නැත්තේම නොවේ.   


වෙන, වෙන කොමිෂන්වලට වගේම මේ කොමිසමටත් කට්ටිය එනවා. ඒ වාගේම ආපහු යනවා.......... ‘මොකක්ද මේකේ තෙරුම’.   


‘අන්තෝ ජටා, බහි ජටා, ජටාය ජටිතෝ ජටා’...............   


හැමෝම එල්ල කරන මේ ප‍්‍රශ්නය ගැන අපට ද ප‍්‍රශ්නයක් වූ නිසාම නීති විශාරදයන්ගෙන් කොමිෂන් සභා පිළබඳව වූ විවිධ කරුණු සම්බන්ධයෙන් විවිධ හැඩතල යටතේ අපි කරුණු විමසීමක් කළා.   


සමාජයේ හදිසියේ ඇති වන යම් සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා මෙන්ම එම ප‍්‍රශ්නයට පිළිතුරු මෙන්ම අනාගතයේ දී යළි එවැනි තත්ත්වයක් උද්ගත නොවීම සඳහා කළයුතු පිළියම් මොනවා ද? යන්න සොයා බැලීම සඳහා එම විෂය ෙක්‍ෂත‍්‍රය සම්බන්ධයෙන් ප‍ුථුල දැනුමක් ඇති නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සහා මෙන්ම ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සහා පත් කිරීමට කොමිෂන් සභා පනත යටතේ ජනාධිපතිවරයාට බලතල ලැබී ඇති බව ඔවුන් සියලු දෙනාගේම මතයයි.   


යම් ගැටලුවක් සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකොට වාර්තාවක් සැපයීම සඳහා ඒ සම්බන්ධයෙන් හෝ විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන් හෝ අධිකරණවල විනිසුරුවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන් හෝ පත් කළ හැක.   
ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අමතරව බරපතළ දූෂණ වංචා සිද්ධීන් සෙවීම සඳහා ද පසුගිය කාලයේදී ජනාධිපතිවරයා විසින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සහා පත්කොට ඇති බව ඔවුන් සියලුදෙනා අතීත වර්මාතන කාලය යා කරමින් අපට පෙන්වා දුන්හ.   


සිද්ධිමය කරුණු සම්බන්ධයෙන් හෝ නීතිමය කරුණු සම්බන්ධයෙන් හෝ කිසිදු හසරක් නොදන්නා ඇතැමෙක් ‘අරයට මෙහෙම වුණා නම්, මෙයාට මෙහෙම නොවුණේ ඇයි’ ? යනුවෙන් තමන් තුළම මතවාද හදාගනිති. විවිධ තර්ක විතර්ක ඇති කර ගනිති. එය යම් අතකින් බලන විට සාධාරණ ද? තවත් අතකින් බලන විට අසාධාරණ ද? තත්ත්වයකි.   


ජනාධිපතිවරයා විසින් මෙවැනි කොමිසමක් පත් කරන්නේම තොරතුරු සොයා ගැනීමේ අරමුණින් යුතුවය. මෙම කොමිෂන් සභාවලට යමෙකුට දඬුවම් නියම කිරීමේ බලයක් හිමිවන්නේ නැත.   


නමුත් කොමිසමට හෝ එහි විමර්ෂණ නිලධාරීන්ට හෝ යම් අසත්‍ය කරුණු පැවසු විට බොරු සාක්කි දීම යටතේ හෝ අපහාස කිරීම යටතේ හෝ අදාළ පාර්ශ්වකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට කොමිසමට බලය ලබා දී ඇත.   


මේ අනුවම කටයුතු කරමින් වත්මන් රජය බලයට පත්වූ පසු 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම කොමිසම පත්කොට ඇත.   


2015 පෙබරවාරී 27 වැනිදා සිදුවූ බව කියන ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වෙනවිට කොමිසම හමුවේ විවිධ කරුණු අනාවරණය වෙමින් පවතී. මෙම ගනුදෙනුවෙන් මෙන්ම ඊට පෙර සිදුවූ විවිධ ගනුදෙනුවලිනුත් රජයට විශාල වශයෙන් පාඩු සිදුවෙද්දී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් වැනි ආයතන විශාල වශයෙන් ලාභ උපයාගෙන ඇති බව කොමිසම හමුවේ හෙළිදරව් විය. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය තුළ දී රුපියල් කෝටි 1100ක ලාභ උපයා ඇති බව ද කොමිසමේදී සාක්කි මගින් අනාවරණය විය.   


ප‍්‍රශ්නගත බැඳුම්කර වංචාව මහා මෙරක් තරම් විශාලව කෙනෙකුට පෙනෙද්දී එය ළුෑ​ණු බිකක් තරම් පුංචියට තවකෙකුට පෙනේ. මෙය ඛේදනීය තත්ත්වයකි. ලංකාව තවමත් තුන්වැනි ලෝකයේ රටක් ලෙස පවතින්නේ ඒ නිසාම යැයි සමහරු චෝදනා එල්ල කරති.   


ඇත්තටම මෙහෙම වෙන්නේ ඇයි? ලංගම බස් රථ බොහොමයක් මගීන් නොමැතිව හිස් වු අසුන සහිතව පාඩු පිට ධාවනය කරද්දී පෞද්ගලික බස් රථ, ‘සැමන් ඇහිරුවා’ වාගේ මගීන් පුරවාගෙන ගමන් ගන්නා අයුරු අදට ද දැකගත හැක. පෙන්වා දිය හැකි සරලම උදාහරණය ලෙස බස් රථවල තත්ත්වය පෙන්වා දුන්නත් ලංකාවේ ඇති සෙසු රාජ්‍ය ආයතන වලින් වැඩිහරියකම වාගේ තත්ත්වය මෙයයි. පෞද්ගලික ආයතන ලාභ උපයද්දී රාජ්‍ය ආයතන පාඩු ලබයි. නමුත් විශ්මය වන්නේ එලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පැවරූ පසුව ඒවා විශාල වශයෙන් ලාභ ඉපිදවීමයි.   


එහෙම වෙන්නේ කොහොමද? යමෙකු ප‍්‍රශ්න කළොත් ඔහුගෙන් විමසිය යුත්තේ ‘ලංකාවේ නොමෙයි ද ඉන්නේ’ කියාය.   


මෙම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සෙවීමට ජනාධිපතිවරයා කොමිෂන් පත් කරද්දී ඔහුගේම රජයේ අැතැම් මැති ඇමතිවරු ඒ දෙස විවිධ කෝණවලින් බලමින් එහි හොඳ, නරක, මෙන්ම හොඳ නරක මිශ‍්‍ර කොට ගනිමින් විවිධ අදහස් පළ කරති. මෙවැනි ප‍්‍රකාශ අසන හා ඒවා ප‍්‍රකාශ කරන අය දකින ලෝවැස්සන්ට මේ එකම ආණ්ඩුවක කටිටියදැයි සිතා ගැනීමටවත් නොහැකි තත්ත්වයට පත් වෙති.   


විධායක ජනාධිපතිධුරය ඉතාම බලසම්පන්නය. එම බලසම්පන්නභාවයෙන් යුතු ජනාධිපතිවරයා විසින් යම් ප‍්‍රශ්නයකට පිළිතුරු අපේක්‍ෂාවෙන් පත් කොට ඇති මෙම කොමිෂන් සභාවලින් යම් ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් කළ යුත්තේ හෝ ගත යුත්තේ කුමක්ද යන්න පිළිබඳ නිශ්චිත පිළිතුරු ජනාධිපතිවරයාට සපයති.   


යම් ප‍්‍රශ්නගත සිද්ධියක් සෙවීමට ජනාධිපතිවරයා විසින් ඒක පුද්ගල, ත‍්‍රී පුද්ගල, පංච පුද්ගල ආදී වශයෙන් කොමිෂන් සභා පත් කළවිට ජනාධිපතිවරයා විසින් කොමිසමට බලය ලබාදෙමින් ‘මැන්ඬේට් පත‍්‍රයක්’ ලබා දෙයි. එම මැන්ඬේට් පත‍්‍රයට අනුව මෙම විමර්ෂණය සිදු කොට වාර්තාව ලබාදීම සඳහා යම් කාල රාමුවක්ද ලබාදේ. මාස තුන, හය, අවුරුද්ද වැනි කාල රමුවක් තුළ එම සිද්ධිය පිළිබඳව විමර්ෂණයක් සිදු කොට ජනාධිපතිවරයාට දැනුම් දිය යුතු බව එම මැන්ඬේට් පත‍්‍රය මඟගින් විධානය කොට සිටී.   


තමන් වෙත ලබාදුන් කාලසීමාව තුළ තමන්ට පැවරූ කාර්යය සම්පූර්ණ කරගත නොහැකි වු අවස්ථාවලදී එම කාර්ය සම්පූර්ණය කිරීම සඳහා තමන්ට තවත් යම් සීමිත කාලයක් ලබාදෙන ලෙස හේතු සහිතව ඉල්ලීමක් කළ විට එම ඉල්ලීම සැළකිල්ලට ගෙන එම කාලසීමාවන් දිගු කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වේ.   


ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද මැන්ඬේට් පත‍්‍රයට අනුව පරීක්‍ෂණ පවත්වන කොමිසම සිය කාලසීමාව තුළ අදාළ පරීක්‍ෂණය සිදු කොට එම සිද්ධිය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වෙන පාර්ශ්වය විසින් වරදක් සිදු කොට ඇද්ද? නැද්ද? පිළිබඳව ජනාධිපතිවරයාට සිය අවසන් වාර්තාව මඟින් දැනුම් දිය යුතුය.   


ඇඟිල්ල දිගු වෙන පාර්ශ්වය සිදු කොට ඇත්තේ කුමන අන්දමේ වරදක්ද? යන්න පිළිබඳව මෙන්ම එම වරද සම්බන්ධයෙන් චෝදනා ලැබිය හැකි පුද්ගලයන් කවුරුන්ද? යන්න නිශ්චිත ලෙසම අදාළ වාර්තාව මඟින් දැනුම් දිය යුතුය.   


ඔවුන්ට චෝදනා එල්ල කළ හැකි ​ෙවන්නේ අල්ලස් පනත යටතේද?, දණ්ඩ නීතිය යටතේද?, මුදල් විශූද්ධිකරණය යටතේ ද? නෙඑසේ නම් වෙනත් නිශ්චිත පනතක් යටතේද? යන්න කොමිසම මගින් ජනාධිපතිවරයාට සිය අවසන් වාර්තාව මගින් නිශ්චිතවම දැනුම් දිය යුතුය.   


එමෙන්ම ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කළ හැකි චෝදනා කවරේද? ඒ සඳහා ඔවුන්ට විරුද්ධව ඇති සාක්කි මොනවාද? යන්න පිළිබඳව ද ජනාධිපතිවරයාට දැනුම් දිය යුතුය.   


කොමිසම සිය අවසන් වාර්තාව මගින් විමර්ෂණය කිරීම සඳහා තමන්ට බලය පැවරූ සිද්ධිය සම්බන්ධයෙන්ද ඒ අනුව තමන් සිදුකළ විමර්ෂණය පිළිබඳවද එම විමර්ශණයේදී තමන් විසින් සොයා ගත් හා හෙළි කරගත් කරුණු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාට කරුනු වාර්තා කළ යුතුය.   


මහජනතාවගේ මුදල් විශාල වශයෙන් වැය කරමින් ජනාධිපතිවරයා විසින් පත් කරන කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා අතට පත් වූ පසුව කුමක් කළ යුතුද? යන්න පිළිබඳව තීරණයක් ගත යුත්තේද ජනාධිපතිවරයාමය.   
කොමිසමේ වාර්තාව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාට තීරණ තුනක් ගත හැක.   


1. කොමිසමේ නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම.   
2. කොමිසමේ නිර්දේශවලින් සමහර නිර්දේශ පමණක් ක්‍රියාත්මක කිරීම.   
3. කොමිසමේ නිර්දේශ නොසලකා හැරීම හෙවත් කොමිසමේ වාර්තාව කුණු කූඩයට වීසී කිරීමයි.   


එම ක‍්‍රියා පිළිවෙත් මෙතෙක් කාලයක් සිදු වූ ක්‍රියා පිළිවෙත්ය.   


පසුගිය කාලය පුරා පැවැති කොමිෂන් සභා බොහොමයකට මේ ඉරණම අත් වී තිබිණි.   


සමහර විනිසුරුවරුන් කොමිෂන් සභා සිය පෞද්ගලික බුදලය බවට පත් කර ගනිමින් කටයුතු කළ ආකාරයත්, කොමිසමේදී ඉදිරිපත් වූ සාක්කි මගින් අනාවරණය වුූ ස්ථාන හා සිද්ධිය නිරීක්‍ෂණය කිරීමට යන බව පවසමින් විනෝද සවාරි ගිය ආකාරයත් එවැනි සමහර කොමිෂන් සභා වල අවසන් වාර්තාව හෝ එළිදැක්වීමක් සිදු නොවු බවත් අතීතය හාරා ඇවිස්සීමේදී අපට මෙන්ම ජනතාවටද සිය මතකයට නගා ගත හැකිවාට කිසිදු සැකයක් නැත.   


එමෙන්ම කොමිෂන් වාර්තා ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරමින් මහජනතාවට යුක්තිය ඉෂ්ඨ කළ ආකාරය මෙන්ම කොමිෂන් සභා වාර්තා කුණු බක්කියට වීසි කළ අවස්ථාද ඕනෑ තරම් අපගේ මතකයට පැමිණේ.   


මේ වන විට බලගැන්වී ඇති භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේදී කුමක් සිදුවන්නේදැයි මේ රටේ සියලුම ජනතාව දෑස් දල්වා බලා සිටිනු නොඅනුමානය.


කොමිසමේ නිර්දේශ ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරන්නේද? ඉන් සමහරක් ක‍්‍රියාත්මක කරන්නේද?, නැත්නම් කුණු කූඩයකට වීසී කරන්නේද? යන්න ලංකාවේ සියලු දෙනාම දෑස් දල්වා බලා සිටීම අරුමයක් නොවනු ඇත.   

මනෝප‍්‍රිය ගුණසේකර