මූල්‍ය අර්බුද විමසීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි


(දයාසීලි ලියනගේ)   
රටේ මුදල් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් වූ කරුණු දෙකක් පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා 2018 මූල්‍ය අර්බුදය පිළිබඳව තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 

රටේ සඟවපු විදේශ ණය ඇති බවට හා විදේශිකයන් පවා 2008 සිට 2014 දක්වා කාලය තුළ බැඳුම්කර මිල දී ගෙන තිබීම නිසා ඔවුන් ද බැඳුම්කර වංචාවට සහභාගි කරවා ගෙන තිබීම යන කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට මෙම තේරීම් කාරක සභාව පත් කරන ලෙස ඉල්ලා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.   


මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා වූ ලිපියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමේ කටයුතු දැන් සිදුවෙමින් පවතින බවද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.   


රටේ ප්‍රතිරූපයට බරපතළ හානියක් සිදුවන බැවින් එය නිවැරදි කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග හා සත්‍ය තත්ත්වය අවබෝධ කිරීම මෙම තේරීම් කාරක සභාව පත් කර ගැනීමේ අරමුණ වී ඇතැයි ද ඔහු කීය.