මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීන්ට බලපෑම් කරන්න සමගි ජන බලවේගයට බෑ


මන්ත්‍රී හාරිස් 

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වයට හැකියාවක් නැතැයි දිගාමඩුල්ල දිස්ත්‍රික් මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්. හාරිස් මහතා පවසයි.   

තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ සිදුකළ හැක්කේ මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයට පමණක් බවත් වෙනත් පාර්ශ්වයකට ඊට මැදිහත් වීමට හෝ බලපෑමක් කිරීමට නොහැකි බව ද ඔහු සඳහන් කරයි.   
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසයේ බොහෝදෙනකු එකඟ වූ බව හෙතෙම මාධ්‍යයට පැවැසීය.   
කොරෝනා වසංගතය පැතිරීම නිසා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වීමට නොහැකි බැවින් එම මණ්ඩලය රැස්වූ පසු එයට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම්.එච්.එම්. හාරිස් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.